කල්පිටියේ ගුවන් හමුදා සහ පොලිසිය අතර ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබඳව ගුවන් හමුදාව විසින් විශේෂ පැහැදිලිකිරිමක් සිදුකර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කල්පිටිය වෙඩි පිටියේදී පැවැති බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසයක් අතරතුර, පොලීසිය සහ ගුවන් හමුදා සාමාජිකයන් අතර ඇති වූ මෙම උණුසුම් තත්ත්වයක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම පැහැදිලි කිරිමේ දී මුලින්ම සඳහ් කර තිබේ.
ගුවන් හමුදාව පවසන පරිදි පසුගිය ජූනි 17 වැනිදා මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ අදාළ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාසය ක්‍රියාත්මක වෙමින් තිබූ අවස්ථාවකදීය. එම අවස්ථාවේදී පූර්ව අවසරයකින් හෝ දැනුම්දීමකින් තොරව පුද්ගලයන් තිදෙනෙකු වෙඩි පිටියට අයත් ආරක්ෂිත සීමාවට ඇතුළු වී ඇත.
එහිදී රාජකාරියේ නිරතව සිටි ගුවන් හමුදා සාමාජිකයන් හත්දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරියෙකු විසින් එම සිවිල් පුද්ගලයන් තිදෙනාගෙන් ඔවුන්ගේ අන්‍යතාවය පිළිබඳ විමසීමක් කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු වන බවත්, අනෙක් දෙදෙනා එම පොලිස් නිලධාරියා සමඟ පැමිණි සිවිල් පුද්ගලයන් බවත්ය. මෙම විමසීම් සිදුකරන අතරතුර දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ අභ්‍යාස කටයුතු සිදුවන කාලසීමාව තුළ අදාළ ප්‍රදේශය සාමාන්‍ය ජනතාවට ඇතුළු වීම තහනම් ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබේ. එවැනි අවස්ථාවලදී එම ප්‍රදේශයට ඇතුළු වන සියලු පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ වගකීම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පැවරෙන බැවින්, පුද්ගල ආරක්ෂාව තහවුරු කිරීම සහ අනතුරුදායක තත්ත්වයන් වළක්වා ගැනීමේ අරමුණින් ගුවන් හමුදාව විසින් අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කර තිබූ බව එම හමුදාව පවසයි.
කෙසේ වෙතත්, මෙම සිදුවීම පිළිබඳව වහාම විශේෂ පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇත.






