දිනසේන රතුගමගේ –
වෙසක් පුන් පෝය නිමිති කරගෙන යාපනය ශික්ෂණ රෝහලේ පැවති, ඇස්වල සුද ඉවත් කොට නොමිලයේ අක්ෂි කාච ලබාදීමේ වෙසක් දන්සැල පුරා දින තුනක් මුළුල්ලේ පැවති සාර්ථක කණ්ඩායම් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙන් නිමාවට පත් විය.
මේ කාලය තුළ පමණක් නොව මුළු වෙසක් සතිය පුරාවටම රෝහලේ අක්ෂි වාට්ටුව බෞද්ධ කොඩි, වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලිවලින් ඉතා අලංකාර ලෙස සරසා තිබීම විශේෂත්වයක් විය.

පදවිය අලිවංගුව බෝධිරුක්ඛාරාමාධිපති පෙරියකුලමේ සුගුණ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ යාපනය ශික්ෂණ රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්. මලරවන්ගේ මූලිකත්වයෙන් මෙම සත්කාරය සංවිධානය කර තිබුණි. ඒ සඳහා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන එස්. සුජීවන් සහ ටී. තිලීපන් ඇතුළු වෛද්‍ය කණ්ඩායම කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අතර, එහිදී අක්ෂි රෝගීන් 312 දෙනෙකුගේ ඇස්වල සුද ඉවත් කොට නොමිලයේ කාච දැමීමට පියවර ගැනුණි.
මෙම සත්කාර්යය සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වන ලද්දේ එක්සත් රාජධානියේ ‘Assist RR Organization’ ස්වේච්ඡා සංවිධානය විසිනි. එම සංවිධානයේ නියෝජිත ආචාර්ය සර්වේස්වරන් විසින් අක්ෂි රෝගීන් වෙනුවෙන් නොමිලයේ ගමන් පහසුකම් හා ආහාරපානාදිය ද සපයා දී තිබුණි.
යාපනය ශික්ෂණ රෝහලේදී මෙම අක්ෂි සැත්කම්වලට භාජනය වූ රෝගීන් 312 දෙනා අතුරින් 215 දෙනෙකුම උතුරු පළාතේ පදිංචිකරුවන් නොව, උතුරු මැද පළාතේ පදිංචි සිංහල ජාතික රෝගීන් වීම සුවිශේෂී සිදුවීමකි.
දිනසේන රතුගමගේ







