මෙරට පවතින ඉන්ධන සංචිත සහ ඉදිරි දිනවලදී ඉන්ධන ලබාගැනීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව විදුලිබල හා බලශක්ති ඇමති කුමාර ජයකොඩි අද (17) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සඳහන් කළේ, දැනට පවතින ගබඩා තොග සහ සැපයුම ස්ථිර කර ඇති නෞකා ද ඇතුළුව මෙරට ඉන්ධන සුරක්ෂිතතාව සම්බන්ධයෙන් දෛනිකව විශ්ලේෂණයක් සිදුකරන බවයි.
ඒ අනුව, දැනට පවතින සාමාන්‍ය පාරිභෝජන මට්ටමට අනුව එක් එක් ඉන්ධන වර්ග පවතින කාලසීමාවන් පහත පරිදි වේ:
-
ඩීසල්: අප්‍රේල් මස 12 වැනිදා දක්වා.
-
සුපර් ඩීසල්: මැයි මස 10 වැනිදා දක්වා.
-
92 ඔක්ටේන් පෙට්‍රල්: අප්‍රේල් මස 23 වැනිදා දක්වා.
-
95 ඔක්ටේන් පෙට්‍රල්: මැයි මස 10 වැනිදා දක්වා.
අඛණ්ඩව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාම සඳහා මිලදී ගැනීම් අධීක්ෂණය කිරීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, ලියාපදිංචි සැපයුම්කරුවන්ට අමතරව නව පාර්ශවයන්ගෙන් ලැබෙන යෝජනා සලකා බැලීම සඳහා කැබිනට් අනුමැතිය මත විශේෂ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බවත් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.
මීට අමතරව, තෙල් නිෂ්පාදනය කරන රටවල් සමඟ රජය සෘජුවම සාකච්ඡා පවත්වා ඇති අතර, නියමිත වේලාවට තොග ලබාගැනීම සම්බන්ධයෙන් වත්මන් සැපයුම්කරුවන් සමඟ ද අඛණ්ඩව සම්බන්ධ වෙමින් පවතින බව කුමාර ජයකොඩි මෙහිදී අවධාරණය කළේය.







