උපේක්ෂා උඩුවැරැල්ල –
ලෝක සාමය, කරුණාව සහ අවිහිංසාව ප්රමුඛ කරගනිමින් සංවිධානය කරන ලද “එහි පස්සිකෝ” (Ehi Passiko) සත්දින බෞද්ධ සාම පා ගමනේ දෙවන දිනය අද (2026 අප්‍රේල් 23) අලුයම ඓතිහාසික මාතලේ අලුවිහාර රජමහා විහාරස්ථානයෙන් ආරම්භ විය.
ලෝක සම්භාවනාවට පාත්‍ර වූ පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයත් ලෝක සාමයේ සංකේතය ලෙස මේ වනවිට ලෝකයේම ආදරය දිනා ගත් ආලෝකාත් ඒ ගමනේ යෙදුනේය.
අප දකිමින් සිටියේ මග දෙපස රැස් වී සිටි අපේක්ෂා සහිත ශ්‍රී ලාංකික ජන ප්‍රජාවකි. කිසිම ආගමික භේදයකින් තොරව අපේක්ෂා සහිත මිනිස්සුන්ගේ දෑස් දිදුලමින් තිබිණි. දාහයෙන් දැවෙන මග සිහිල් කිරීම වෙනුවෙන් දිය ඉසිමින්, වඩින මග හිමිවරුන්ගේ පා පහසුව සඳහා කෙසෙල්පත් අතුරමින් මල් කිනිති සහිතව සුදු වතින් සැරසී මග දෙපස රැඳී සිටි දෙනෝ දාහක් දෙනා ගැඹුරු හැඟීමක් හදවත තුළ ඇති කළ බව ලියා තබමි.
මෙම පා ගමනේ පළමු දිනය වූයේ ඊයේ දිනය ය. වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවතියද මහා සංඝරත්නය රංගිරි දඹුලු රජමහා විහාරයේ සිට අලුවිහාරය දක්වා කිලෝමීටර් 42කට අධික දුරක් වැඩම කළහ. බුද්ධ ධර්මය ලේඛනගත කරන ලද (ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ) වසර 2,000කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මාතලේ අලුවිහාර පුණ්‍ය භූමියට පැමිණි සංඝයාවහන්සේ එහිදී ආගමික වතාවත්වල නිරත වූහ.

අද දින පඤ්ඤාකර හිමිපාණන් ප්රමුඛ සංඝරත්නය අලුවිහාරයෙන් ආරම්භ කළ පා ගමන මහනුවර නගරය දක්වා ගමන් කිරීමට නියමිතය. එහිදී ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට සැලසුම් කර තිබේ. . පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අප්‍රේල් 21 වනදා සිට 28 වනදා දක්වා මෙම සුවිශේෂී වන්දනා චාරිකාව සහ පා ගමන පැවැත්වේ.
ගෝලීය වැඩසටහනක ශ්‍රී ලාංකේය පියවර
මෙම “එහි පස්සිකෝ” සාම පා ගමන මීට පෙර ඇමරිකා එක්සත් ජනපදයේදී ද සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකාව යනු බෞද්ධ උරුමය සහ සාමය පවතින දේශයක් බව ලෝකයට පෙන්නුම් කිරීම මෙහි ප්‍රධාන අරමුණකි.

සත්වන දින වන අප්‍රේල් 28 වනදා මෙම සාම පා ගමන නිමාවට පත්වීමට නියමිතය. අධ්‍යාත්මික නායකයින් සහ පොදු ජනතාව ඒකාබද්ධ කරමින්, සිහිකල්පනාව සහ කරුණාව තුළින් ලෝක සාමය උදාකර ගැනීමේ මානුෂීය පණිවිඩය ජන මනස තුළ රෝපණය කිරීම මේ ප්රයත්නයේ අවසන් අරමුණය.







