උපේක්ෂා උඩුවැරැල්ල –
තලංගම, කොස්වත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිටිමින් අන්තර්ජාලය හරහා නීති විරෝධී කටයුතුවල නිරත වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු චීන ජාතිකයින් 37ක් ඊයේ අත් අඩංගුවට ගත්තේය.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් සියලු දෙනා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ තලංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
අදාළ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී ඩෙක්ස්ටොප් පරිගණක 35ක්, ටැබ් පරිගණක 37ක්, ජංගම දුරකතන 147ක්, සිම්පත් 100ක් සහ නීති විරෝධී දුම්වැටි 2100ක් පොලිසිය භාරයට ගත්තේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙරටට පැමිණ ඇත්තේ මාස තුනක සංචාරක වීසා මතය. එම කාලසීමාව තුළ ඔවුන් මෙම නීති විරෝධී කටයුතුවල නිරතව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මොවුන් අන්තර්ජාල මූල්‍ය ජාවාරම්, හැකර් ප්‍රහාර හෝ වෙනත් සයිබර් අපරාධවලට සම්බන්ධ දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.
මාර්තු සිට මේ දක්වා චීන්නු 320ක් අත් අඩංගුවට
වැටලීම සිදුකළ නිවස මේ වන විට මුද්‍රා තබා ඇත. එහි තිබී සොයාගත් පරිගණක සහ දුරකතන ඇතුළු උපකරණ වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මෙය සරල සිද්ධියක් නොවේ. පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ මෙරට විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වූ මෙවැනි ප්‍රධාන නීති විරෝධී සයිබර් මධ්‍යස්ථාන වැටලීම්වලදී චීන ජාතිකයින් 320කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වූයේය. මෙම ජාවාරම්කරුවන් බොහෝමයක් සංචාරක වීසා මත මෙරටට පැමිණ, සුඛෝපභෝගී නිවාස සහ හෝටල් කුලී පදනම මත ලබාගෙන අන්තර්ජාලය හරහා ජාත්‍යන්තර මූල්‍ය වංචාවල නිරත වන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ප්‍රධාන පෙළේ වැටලීම් දාමය
පොලිස් දත්ත වාර්තාවලට අනුව, මාර්තු මැද භාගයේදී අනුරාධපුර සහ මිහින්තලේ ප්‍රදේශවලදී චීන ජාතිකයින් 126 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, මාර්තු අග භාගයේදී මීගමුව ප්‍රදේශයේදී තවත් 16 දෙනෙකු කොටු විය.
අප්‍රේල් මස මුලදී හලාවත, ඉරණවිල ප්‍රදේශයේ හෝටලයක් වැටලීමේදී චීන ජාතිකයින් 133 දෙනෙකු ඇතුළුව විදේශිකයින් 150කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරටින් වාර්තා වූ විශාලතම අන්තර්ජාල මූල්‍ය වංචා මෙහෙයුම ලෙසය. එම වැටලීමේදී ලැප්ටොප් පරිගණක 100කට ආසන්න ප්‍රමාණයක් සහ ජංගම දුරකථන 250කට අධික සංඛ්‍යාවක් සොයා ගැනීමට පොලිසිය සමත් විය.
මීට අමතරව අප්‍රේල් 16 වනදා කටුනායක ගුවන්තොටුපළේදී චීන ජාතිකයින් 9 දෙනෙකු සන්තකයේ තිබී ජංගම දුරකථන 383ක් සහ ටැබ් පරිගණක 101ක් වැනි විශාල සයිබර් උපකරණ තොගයක් සොයා ගැනීමත් සමඟ මෙම ජාවාරම ජාත්‍යන්තර මට්ටමින් මෙරට තුළ ව්‍යාප්ත වී ඇති ආකාරය තහවුරු විය.
තලංගම වැටලීම සහ වර්තමාන තත්ත්වය
පසුගිය මැයි 01 සහ 02 යන දිනවල තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී සිදුකළ මෙම නවතම වැටලීම ද එම මහා පරිමාණ සයිබර් අපරාධ දාමයේම තවත් එක් දිගුවක් ලෙස පොලිසිය සැක කරයි. අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා සන්තකයේ තිබී හමු වූ සන්නිවේදන උපකරණ සංඛ්‍යාව සහ නීති විරෝධී ද්‍රව්‍ය සලකා බැලීමේදී මොවුන් ඉතා සංවිධානාත්මකව මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බව පෙනී යයි.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ මෙම ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ මහ මොළකරුවන් හඳුනා ගැනීම සඳහාය.
ඊලඟට අපට ඇති ප්‍රශ්නය වන්නේ අපරාධකරුවන් මේ වනවිට සිය රක්ෂිත ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගන්නේ ඇයි ද යන්නය. විශ්ලේෂකයින් කරුණු හරතක් ඔස්සේ මේ තත්ත්වය හඳුනාගෙන ඇත.
- වීසා ක්‍රමවේදයේ පවතින ලිහිල් බව – ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා හඳුන්වා දී ඇති ETA (Electronic Travel Authorization) ක්‍රමවේදය සහ ඇතැම් රටවලට ලබාදෙන වීසා නිදහස් කිරීමේ පහසුකම් අපරාධකරුවන් විසින් අවභාවිත කරනු ලබයි.
එසේ අවභාවිතා කර එන පුද්ගලයින්ට ඉතා අඩු අවදානමක් යටතේ සිය ජවාරම් පවත්වා ගත හැකිය. එසේ වන්නේ සංචාරක වීසා මත මෙරටට පැමිණෙන පුද්ගලයින් නවාතැන් ගන්නා ස්ථාන සහ ඔවුන් නිරත වන කාර්යයන් පිළිබඳව පසු විපරම් කිරීමට (Post-entry monitoring) විධිමත් පද්ධතියක් මෙරට තවමත් නොමැති නිසාය.
ඒ තත්ත්වය තුළ සංචාරකයින් ලෙස පැමිණ මාස 3-6 කාලයක් කුලී නිවාසවල රැඳී සිටිමින් කිසිදු බාධාවකින් තොරව මෙම ජාවාරම් මෙහෙයවීමට ඔවුන්ට අවස්ථාව ලැබේ.
- භූගෝලීය සහ යටිතල පහසුකම් වාසි – අග්නිදිග ආසියානු රටවල (මියන්මාරය, කාම්බෝජය, ලාඕසය) මීට පෙර මෙම සයිබර් ජාවාරම් දැඩිව ක්‍රියාත්මක වූයේය. එහෙත් එම රටවල් මේ වන විට වැටලීම් සහ නීති දැඩි කර ඇත. ඒ අතින් ලංකාවෙ ඇති අවදානම අඩුය.
තවද මේ පිරිස් ශ්‍රී ලංකාවට ආකර්ශනය වන්නේ රට තුළ පවතින සාපේක්ෂව වේගවත් අන්තර්ජාල පහසුකම් සහ දිවයින පුරා විහිදුණු සන්නිවේදන ජාලය නිසාය.
එමෙන්ම රට තුළ අනන්‍යතාවය සඟවා විසිය හැකිය. රටේ විශාල සංඛ්‍යාවකට එකවර නවාතැන් ගත හැකි සුඛෝපභෝගී පෞද්ගලික නිවාස සහ සංචාරක හෝටල් බහුල ය. එබැවින් පොලිස් ඇසට හසු නොවී රහසිගතව මෙහෙයුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට ඔවුන්ට හැකි වී තිබේ.
- නීතිමය රාමුවේ පවතින හිඩැස් – ශ්‍රී ලංකාවේ සයිබර් අපරාධ සම්බන්ධ නීති පද්ධතිය තවමත් පවතින්නේ යාවත්කාලීන වෙමින් පවතින මට්ටමකය.
2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත පැවතියද, ජාත්‍යන්තර මට්ටමේ සංවිධානාත්මක සයිබර් කල්ලි මෙල්ල කිරීමට තරම් එම දඬුවම් ප්‍රබල නොවන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.
එමෙන්ම සිම්පත් දහස් ගණනින් ලබාගැනීමට ඇති හැකියාව සහ ඒවා ලියාපදිංචි කිරීමේදී පවතින ලිහිල් බව අපරාධකරුවන්ට විශාල වාසියකි. මෑත කාලීන වැටලීම්වලදී සිම්පත් සිය ගණනින් හමුවීම මෙයට හොඳම සාක්ෂියයි.
- දේශීය සහයෝගීතාව සහ ආර්ථික වටපිටාව – මෙම චීන ජාතිකයින්ට නිවාස කුලියට දීමට සහ අවශ්‍ය පහසුකම් සලසා දීමට ඇතැම් දේශීය පුද්ගලයින් මුදලට ගිජු වී කටයුතු කිරීම ප්‍රධාන දුර්වලතාවකි. බොහෝ විට නිවෙස් හිමියන් එහි සිදුවන්නේ කුමක්දැයි සොයා බැලීමට උත්සාහ කරන්නේ නැත.
තවද මෙරට තරුණ පිරිස් අතර පවතින ඉංග්‍රීසි දැනුම සහ තාක්ෂණික සාක්ෂරතාවය උපයෝගී කරගනිමින්, ඇතැම් වංචා සහගත ඇමතුම් මධ්‍යස්ථාන (Call Centers) සඳහා දේශීය සහාය ලබාගැනීමටත් ඔවුන් උත්සාහ කරයි. ඉන් සාර්ථ ප්‍රතිඵල අත් කරගත් අවස්ථා ද වාර්තා වේ.
මේ ජාවාරම් කරුවන් විසින් “අඩු අවදානම් – වැඩි ලාභ” (Low risk – High reward) සහිත කලාපයක් ලෙස ශ්‍රි ලංකාව හඳුනාගෙන ඇති ආකාරය පෙළ ගැහෙන සිද්ධි දාමය අනුව පැහැදිලිය. “Pig Butchering” (මූල්‍ය ආයෝජන වංචා) වැනි ජාවාරම්වල මීළඟ මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව භාවිත කිරීමට ඔවුන් දරන උත්සාහය පරාජය කිරීමට රටක් ලෙස කළ යුතු බොහෝ දේ තිබේ.
සංචාරක වීසා නියාමනය ශක්තිමත් කිරීම, විදේශිකයින් රැඳී සිටින පෞද්ගලික පරිශ්‍ර පිළිබඳ පොලිස් ලියාපදිංචිය අනිවාර්ය කිරීම, සන්නිවේදන උපකරණ සහ සිම්පත් තොග වශයෙන් මිලදී ගැනීම් පිළිබඳ විමර්ශන පද්ධතියක් සැකසීම, මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ලබා ගත යුතු මූලික ප්‍රායෝගික ප්‍රවේශයන් බව ආරක්ෂක අංශ පවසයි.







