ඉඳුනිල් කහටපිටිය-
මේ ලිපිය කියවන මොහොත වනවිට රංග රාජපක්ෂ අප අතර නැත. ඔහු සිය ජීවිතයෙන් සමුගෙනය. අප දකින්නේ මේ මරණය අතිශය නින්දා සහගත ලෙස දේශපාලන වේදිකාවල තුට්ටු දෙකට වෙන්දේසි කරන ආකාරය ය.
ආණ්ඩුව රංගව මරා ගත් බව කියන පිරිසක් වෙති. මේ සිද්ධිය නිරාවරණය කර එහි සිදුව තිබුණු විමර්ශන ක්‍රමවේදය කුඩු කර දමා රංග රාජපක්ෂලා හොරු ලෙස නිගමනය කිරීමට සමාජය පෙළඹවූ විපක්ෂය එහි වරදකරු බව තවත් පාරශවයක් කියනු පෙනේ.
මොනවා උනත් දැන් ඔහු නැත. අද සවස 3ට කුලියාපිටිය ඔහු වීරඹුව සුසාන භූමියේ දී අවසන් ගමන් ගියේය. ඔහුගේ සරසවි සගයෙක් ඔහු ගැන තබා තිබූ සටහනකින් මේ පුංචි ලියැවිල්ල ආරම්භ කරමු. මේ ඒ හෘදයාංගම සටහනය.

රංග නිශාන්ත ගැන සටහනක් නොතියා ඉන්න අමාරුයි.
වැලියුවේශන් ඩිපාන්ට්මන්ට් එකේ රංග කියනවට වඩා අපි රංගව හඳුනන්නෙ ලපයා කියන නමින්. “ලපයා” රංගගේ කාඩ් එක.
ගම කුලියාපිටිය. නිවාඩු කාලෙට පාඩම් කරනවට වඩා ගමට ගිහින් කුඹුරු කොටන්න එහෙම නැත්තං ගොයං කපන්න උගේ හිත තිබුනෙ.
රංගට තිබුනෙ රට හදන උණක්. ඒ නිසාමයි ශිෂ්‍ය සංගමේට බැඳිලා දවල් රෑ නැතිව මිනිහා වැඩ කරේ. වැඩ කරාට රංගගෙ කතාව හරි අඩුයි.. හරිම අඩුයි… බැරිම තැනකදි විතරයි ඌ කතා කරන්නෙ.
“මේක වෙනස් කරන්න පුළුවන් බං.. මේක හදන්න බැරිකමක් නෑ”. ඌ ඉඳහිට හිනාවෙලා කියපු කතාවක් ඒ.
සැහැල්ලුවෙන්.. හිනාවෙලා කීවත් ඌ හැමදාම විශ්වාස කරා මේ රට හදන්න පුළුවන් කියලා.
පිකට් එකක්.. ස්ට්‍රයික් එකක් තිබ්බොත් ලපයා හැම තිස්සෙම එතන. පෝස්ටර් මිටියක් කිහිල්ලෙ ගහගත්ත සංජීව.. ඒ කීවෙ ඩයිනා එක්කයි ලපයා නිතරම දකින්න හිටියා කැලේ කඩේ පැත්තෙ.
කැම්පස් එකේ බරටම ශිෂ්‍ය සංගම් වැඩකරපු කෙනෙක්ගෙන් එකෙක් ලපයා.
ඒ අස්සෙ චාර්ටඩ් කරන්න ලොකු උවමනාවකුත් අපේ මිත්‍රයාට තිබුනා.ලපයා හිත හොඳ එකා.. ජපුරෙ 96/97 බැච් එකේ හැමෝම කීවෙ ඒ වගේ. කවදාවත් සත පහක් හොරකම් නොකරපු .. වංචාවක් නොකරපු මනුස්සයෙක් රංග කියන්නෙ.
තරඟ විභාගයක් සමත්වෙලා මහ බැංකුවට හරි.. භාන්ඩාගාරෙ රස්සාවකට හරි ගියා කියලා පහු කාලෙක අහන්න ලැබුනා.
ඇයි හදිසියේම රංග ගැන ලියන්න හිතුවේ.?
රංග යන්න ගිහිල්ලා.
සමහර අම්මලා තාත්තලා ජීවත්වෙනවා දරුවො වෙනුවෙන්. තවත් කෙනෙක් ජීවත්වෙන්නෙ ආදරය වෙනුවෙන්.
අවුරුදු ගාණක් මහන්සිවෙලා පොඩි ව්‍යාපාරයක් පටන්ගත් මනුස්සයා ජීවත්වෙන්නෙ තමන්ගෙ මුළු ජීවිතයම ව්‍යාපාරය කියලා හිතාගෙන.
තවත් කෙනෙක් තමන්ගෙ ප්‍රථිරූපය වෙනුවෙන්.. තමන් අමාරුවෙන් ගොඩනගාගත් නම වෙනුවෙන් ජීවත්වෙනවා.
රංග වගේ මිනිස්සු ජීවත්වෙන්නෙ අරමුණක් වෙනුවෙන්. රංග අවංක මනුස්සයෙක්… හොරකමක් වංචාවක් නැති මනුස්සයෙක්. ඒක දන්නෙ රංගව ලඟින් ආශ්‍රය කරපු.. එකට රාජකාරි කරපු.. එකට ඉගෙනගත්ත මිනිස්සු.
නමුත් රටේ ජනතාව.. දේශපාලන පක්ශ… මාධ්‍යය.. විවිධ සංගම් දන්නෙ නෑ රංග නිශාන්ත කියන්නෙ කවුද කියලා.
පහුගිය දවසක මහා භාන්ඩාගාරයේ සිදුවුනා කියන මූල්‍ය වංචාව හෙවත් ස්කෑම් එක නිසා වැඩ තහණම් වෙනවා රංග නිශාන්තගෙ. මා දන්නා තරමින් ඒ ගැන මුල්ම හෙලිදරව්ව කරන්නෙත් රංග විසින්.
මුළු ජීවිත කාලයම එක අරමුණක් වෙනුවෙන් වැඩ කරලා ඒ අරමුණ නිසාම තමන්ගෙ රස්සාවත්… ගොඩ නගාගත් නමත් අහිමි වුනාම කොහොමද කෙනෙක්ට දැනෙන්නෙ.?
කොහොමද ඒ මනුස්සයා ලෝකයට.. සමාජයට මුහුණෙ දෙන්නෙ.?
සමාජය.. ඒ කීවෙ අපි බොහෝම ඉක්මණින් විනිශ්චයන් දෙනවා.
අන්න හොරෙක්.. ඌ තමයි අර ස්කෑම් එකට වග කියන්න ඕනෙ.. අළුත් ආණ්ඩුවෙන් පත් කරපු තවත් හොරෙක්.
ඒක මහා බර පීඩනයක්.
ඒ පීඩනය පිටත ඉඳන් බලාගෙන ඉන්න අපිට දැනෙන්නෙ නෑ.
ඒ දුක අපිට පේන්නෙ නෑ.. එක්කො අපි දකින්නෙ නැතුව ඉන්න කැමතියි.
සමාජ මාධ්‍යයේ තමන්ට අපහාස කරලා ලියපු පෝස්ට් එකක් .. කමෙන්ට් එකක් ගැන හිතන්න.
කොයි තරම් හිත රිදෙනවද? කෙනෙක් නිකරුනේ හොරා කීවාම.. වංචාකාරයා කීවම කොයි තරම් හිතට අමාරුයිද?
ඒ වගේ ,මුළු රටක්ම… සමාජයක්ම එක පාර ඇඟිල්ල දිග් කරනකොට ඒක දරාගන්න අමාරුයි. විශේෂයෙන්ම ඇත්ත විදිහට බොරු මවා කියන මාධ්‍ය ඉදිරියේ ජීවත්වීම ලේසි පහසු නෑ.
ඇත්ත.. , මහා භාන්ඩාගරෙ හරහා රටට අහිමිවුනේ ජනතාවගෙ මුදල්.
ජනතාවට අයිතියක් තියෙනවා ඒ ගැන අහන්න .. චෝදනා කරන්න. ඒත් කිසිවක් නොදැන තීන්දු තීරණ දෙන්න අපි කවුද?
බලධාරීන්ට තිබුනෙ නැතිද එකපාරටම සේවය තහණම් නොකර පරීක්ශණයක් කරන තෙක් හෝ ඉල්ලා අස්වෙන්න කියන්න. දේශපාලනය දරුණු යුධ පිටියක් වුනත් ඒ වගේ තීන්දු තීරණ පසුව හෝ සාධාරණීකරණය කරන්න පුළුවන්.
ඒත් ඒ ගැන දැන් කතා කරලා මොකටද?
අපි ජීවත්වෙන්නෙ මස් රාත්තලම ඉල්ලන ශයිලොක් සමාජයක.
මැරුණට පස්සෙ හැමෝම හොඳ කියනවා.. හොඳ ලියනවා.
ඒත් මේ එහෙම කතාවක් නෙවෙයි.. අපිත් එක්ක හිටපු අපේ මිනිහෙක් ගැන ඇත්තටම දැණුනු හැඟීමක්.
සමහරවිට රංග වගේ මිනිස්සු මේ සමාජයට අවංක වැඩී. ඒ නිසා වෙන්න ඇති තමන්ගෙ ජීවිතය තමන් විසින්ම අරන් යන්න රංග තීරණය කරන්න ඇත්තෙ.
උඹ හිත හොඳ එකා.. හොර බොරුවක් නැති එකා. එහෙම කියන්නෙ අපි උඹව දන්න නිසා. දවසක ආයෙත් තෙල් බැම්ම පැත්තෙ ආවොත් හමුවෙමු.
කවුරු දන්නවද!!
සුභ ගමන් මිත්‍රයා…

-
මරණ පරීක්ෂණයේ දී අනාවරණය වුන කතාව
රංග දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. වැඩිමහල් දියණිය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ය. බාල දියණිය 15 හැවිරිදිය. ඇය පාසල් යන්නීය. සිද්ධි වුන දිනයේ සිද්ධිය බාල දියණිය පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කීවාය.
අප්පච්චිගේ ලෝකය වුණේ අපි…” – බාල දියණියගේ හඬ
“අප්පච්චි පිහියෙකුත් අරගෙන ගෙදරින් එළියට බහින්න හදනකොට මම ඇහුවා කොහෙද යන්නේ කියලා. එතකොට අප්පච්චි කිව්වා ‘වත්ත ටිකක් එළිපෙහෙළි කරන්න යනවා’ කියලා. මම කිව්වා උදේට කාලා යන්න කියලා. ‘මොනවද කන්න තියෙන්නේ?’ කියලා අප්පච්චි මගෙන් ඇහුවා. ‘කඩල තම්බලා තියෙන්නේ’ කිව්වාම, ‘මම වත්තට ගිහින් ඉක්මනට කාලා එන්නම්’ කියලා අප්පච්චි වත්ත පහළට ගියා.
අපි එදා හවස මහනුවර දළදා මාලිගාවට යන්න සූදානම් වෙලා හිටියේ. ටික වෙලාවකින් බුලත් කොරටුවේ වැඩ කරන මාමලා ඇවිත් කිව්වා අප්පච්චි ලේ ගලන තුවාල එක්ක වැටිලා ඉන්නවා කියලා. එයාලා අප්පච්චිව ගෙදරට අරගෙන එනකොට කකුල් දෙකෙන් ගොඩක් ලේ ගිහින් තිබුණා. අනේ අප්පච්චි අපිට කොච්චර ආදරෙයිද… එයා නිතරම කිව්වේ හොඳට ඉගෙනගන්න කියලා. අක්කා කැම්පස් තේරුණු දවසේ අප්පච්චි ගොඩක් සතුටු වුණා. අප්පච්චිගේ ලෝකය වෙලා තිබුණේ අම්මයි, අක්කයි, මමයි විතරයි. .” දියණිය ඉකි ගසමින් පවසා තිබිණි.
“සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියලා එයා නිතරම ඇහුවා” – බිරිඳගේ හඬ
ශ්‍රී දළදා වහන්සේ වැදඟන්නට තමන් සහ දියණියන් සමග යන්නට සිටි සැමියා මේ ආකාරයෙන් අවසන් ගමන් යන බව ගුරුවරියක වූ ඔහුගේ බිරියට සිතා ගත නොහැකි වී තිබිණි. ඇය මරණ පරීක්ෂණයේ දී මෙසේ සාක්ෂි දී තිබුණාය. කුලියාපිටිය සුරදූතිකා බාලිකා විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කළ ඇය එදින කෙටි නිවාඩුවක් දමා පැමිණ තිබුණේ ශ්‍රී දළදා මාළිගාව වන්දනා කිරීමට යෑම සඳහාය.
“මගේ සැමියා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඔහු ඉතාමත් ගුණගරුක, අවංක මනුස්සයෙක්. අපිට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. වැඩිමල් දුව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබනවා. මම ගුරුවරියක් විදිහට සේවය කරමින්, දරුවොත් එක්ක අපි හරිම සාමකාමී පවුල් ජීවිතයක් ගත කළා. ඒත් මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ මුදල් වගයක් හැකර්වරයෙකු අතට පත් වූයේ යැයි කියන සිද්ධියට අදාළව ඔහුගේ රැකියාව අත්හිටුවීමත් එක්ක ඒ සතුට අපෙන් උදුරා ගත්තා.
ඒ සිද්ධිය නිසා ඔහු හිටියේ පුදුම කනගාටුවකින්. ‘මට සමාජයට මුහුණ දෙන්න බැහැ’ කියලා ඔහු නිතරම මාත් එක්ක කිව්වා. නිරපරාදේ තමන්ගේ නමටත්, රැකියාවටත් එල්ල වුණු ඒ කළු පැල්ලම ඔහුට දරාගන්න බැරි වුණා. පෙර දිනක ඔහු මට කිව්වා ‘අපි දළදා මාලිගාවට ගිහින් ආශිර්වාද අරගෙන, ඊට පස්සේ මොරටුවට ගිහින් කැම්පස් එකේ ඉන්න දුවවත් එක්කගෙනම කුලියාපිටියේ ගෙදර එමු’ කියලා. ඒ නිසාමයි මම එදා පාසලට ගිහින් කෙටි නිවාඩුවක් දාලා ඉක්මනින් ගෙදර ආවේ.
අපි මහනුවර යන්න සූදානම් වෙලා ඉද්දීමයි මේ විපත වුණේ. වත්ත පහළදී ඔහුගේ අතක සහ පාද දෙකේ තුවාල වෙලා ලේ ගලමින් ඉන්නවා දැකලා මම වහාම සුව සැරිය ගිලන් රථ සේවයට කතා කළා. ඒත් ගිලන් රථයෙන් පැමිණි අය පරීක්ෂා කරලා කිව්වේ ඔහු මියගොස් ඇති බවයි. දරුවන්ටයි මටයි පණ වගේ ආදරේ කරපු, හැමදාම අපි ගැනම හොයලා බලපු ඔහු අපාව මේ ලෝකේ තනි කරලා ගියා. අවංකව සේවය කරපු නිලධාරියෙක්ට මේ වගේ ඉරණමක් අත් වීම දරාගන්න හරිම අමාරුයි.”
සිය දිවි නසා ගැනීමෙන් එහා ගිය කතාව
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් සිව් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් විසින් ඊයේ (01) සිදු කරන ලද පරීක්ෂණයට අනුව, මරණයට හේතුව බහු කැපුම් තුවාල නිසා සිදු වූ අධික රුධිර වහනය ය. මියගිය නිලධාරියාගේ පාද දෙකේ සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබුණු අතර, එම තුවාල ඔහු විසින්ම තියුණු ආයුධයක් භාවිත කර සිදු කරගන්නා ලද බව වෛද්‍ය මණ්ඩලයේ නිගමනය වී තිබුණේය.
තමන් අතින් සිදුවූ තාක්ෂණික අත්වැරැද්දක් (Business Email Compromise) නිසා රුපියල් කෝටි 75 ක මුදලක් රටට අහිමි වූ අවස්ථාවේදී, එම වංචාව ගැන මුලින්ම පැමිණිලි කළේ වෙන කවුරුත් නොව, එම මුදල් හුවමාරුව සිදුකළ නිලධාරියා විසින්මය. තමන් අතින් වූ අත්වැරැද්ද වහාම පිළිගෙන, එය නිවැරදි කිරීමට ඔහු කටයුතු කළේය.
මේ පිළිබඳව රහසිතගතව පවත්වාගෙන ගිය විමර්ශන රටම තිගස්වන කථිකාවක් ගොඩනගන්නේ යම් කණ්ඩායමක් විසින් එය හෙළිදරවු කර රංගලා පට්ට පදුරු හොරුන් බවට හංවඩු ගසා ඔවුන්ට ගෙවල්වලින් එළියට බැහැගන්නට නොහැකි තත්ත්වයක් ඇති කළ පසුය.
මේ මිනිසා කවරෙක්දැයි ඔහුගේ නිවසට ගොස් බලන්න. නිවසවත් මුලුමනින් සදා නිම කර නැත. එය අඩක් නිමකළ නිවසකි. බිරියගේ සහ තමන්ගේ රැකියාවේ ආදායමත් හැරුණු කොට පාරම්පරික ඉඩමේ වගා කටයුතු කරවමින් ලබන අමතර ආදායම මත පමණක් මේ මිනිසා ජීවිතය කළමනාකරණය කරගෙන තිබිණි.
ජීවිතය සේ ගොඩ නගාගත් ආත්ම ගෞරවය කෙළෙසී ගිය පසු තව දුරටත් ජීවිතයක් නැති බව සිතන මිනිස්සු වෙති. බොහෝ දෙනෙකුට එවැනි මිනිසුන් ගැන සිතන්නටවත් නොහැකි බව දනිමි. රංජ රාජපක්ෂ එවැන්නෙකි. හෘද සාක්ෂියක් නැති කාලකණ්ණින් ඉතිරි වෙද්දී එවැනි මිනිසුන් සිය ආත්ම ගෞරවය වෙනුවෙන් ජීවිත හැර යති. ඛේදවාචකය එයය.
සිහි කිරීමක් – මහබැංකු බැඳුම්කර වංචාව රුපියල් කෝටි 1145, මිග් යානා ගනුදෙනුව රටට කළ පාඩුව කෝටි 500ක්. ( මේ කෑල්ල ලියලා තිබ්බේ නිකමට)







