දෙගල්දොරුව ප්රදේශයේ ගම්මානයකට පෙරේදා (16) රාත්රියේ පැමිණි අඩි 08 ක් පමණ දිග පිඹුරෙක් ගම්වාසීන් විසින් අල්ලා වනජීවි දෙපාර්තුමේන්තුවට දැනුම් දුන්නත් ඌ රැගෙන යාමට හෝ ආරක්ෂිත ස්ථානයකට මුදා හැරීමට කිසිදු නිලධාරියෙකු මේ වනතුරු නොපැමිණීම හේතුවෙන් ගම්මුන් මෙන්ම ගම්මුන් අතට පත් වුණ පිඹුරාත් දැඩි අපහසුතාවයකට පත් වී සිටී.
සම්මන්ත්රණ හා සාකච්ඡා තිබෙන බැවින් තමන්ට පැමිණීමට වේලාවක් නොමැති බව වනජීවි නිලධාරීන් පැවසූ බව ගම්වැසියෝ ප්රකාශ කළහ.
සුනඛයින් දිගින් දිගටම බුරන්නට වීම නිසා තමන් ඒ දෙසට ගොස් විපරම් කිරීමේදී විශාල පිඹුරෙකු දක්නට ලැබුණු බවත් මුගුරකින් පහරදී ඌ ගොදුරු කරගනිමින් සිටි සුනඛ පැටවෙකු බේරාගත් බවත් ගම්වැසියෙකු වන සම්පත් කෝණාර කීය.
පිඹුරා අල්ලා බැරලයක් තුළට දමා වනජීවි නිලධාරීන්ටත් වත්තේගම පොලීසියටත් දැනුම් දුන් නමුත් ඔවුන් කිසිවෙක් අද (18) සවස් වන තුරුත් නොපැමිණි බව ගම්වැසියෝ කීහ.
පිඹුරා විෂඝෝර සර්පයෙක් නොවන නිසා කැලෑවකට රැගෙන ගොස් මුදා හරින ලෙස වනජීවි නිලධාරීන් දැනුම් දුන්නත් ගම්මානයේ කුඩා දරුවන් සිටින නිසා කිසිවෙකුත් එසේ කරන්නට අකමැති බව ඔවුහු කීහ.







