සමන්ති වීරසේකර –
අප දුර්ග ආර්ථික පරිහානියකය. මේ බිඳවැටීම සමාජ ආර්ථික දේශපාලනික ලෙස නොව සදාචාරාත්මකව ද අප පරිහාණියට පත් කර තිබේ. දුප්පත් කර තිබේ.
ඒ දුප්පත් සමාජයේ බිහිසුණුම අත්දැකීම් ලබන්නේ දරුවන්ය. එය දරා ගත නොහැකි පීඩනයක් සේ පුපුරා යන්නේ තරුණයින් අතරය. ලෝකය දරාගත නොහැකි වේගයෙන් වෙනස් වෙමින් ඇති විට ලෝකයේ ශ්‍රම වෙළෙඳපල ද අන් කවරදාටත් වඩා වේගයෙන් වෙනස් වෙමින් පවතින විට ඊට අනුගත වීම තබා එදා වේල සොයා ගැනිමට රැකියාවක් කිරීමේ අභිලාෂය ද තරුණ ප්‍රජාව අතරින් ගිලිහී යමින් තිබේ.
රටක ආර්ථික දරිද්‍රතාවය සහ තරුණ විරැකියාව අතර ගැටලුව විග්‍රහ කිරීමට සමාජ විශ්ලේෂකයෝ කරුණු කීපයක් ගෙනහැර දක්වති. මේ ව්‍යසනයේ ප්‍රධානම පිපිරුම අයහපත් කළමනාකරණයක් සහිත දූෂිත දේශපාලකයින් විසින් ජාතියක ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කිරීමය. වසංගත වැනි සමස්ථ ලෝකයක් මුහුණ දෙන ගෝලීය අභියෝග එක් ජාතියක් තෝරාගෙන හුදකලාව බංකොලොත් කරන්නේ නැත. 2022 වනවිට බංකොලොත් භාවයට ප්‍රකාශ කරන ලද රාජ්‍යයක තරුණයින් පමණක් නොව සමස්ථ ජන ජීවිතයම ඉතිහාසයේ බිහිසුණුම ඛේදවාචකයට මුහුණ දී ඇත.
රටේ ශ්‍රම බලකායට අත් වුන ඉරණම
2023 මහ බැංකු වාර්තාව ඉදිරිපත් කර ඇති ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2022 දී මේ රටේ ශ්‍රම බලකාය අසූ පන් ලක්ෂ හතලිස් හත් දහසකි (8547000) කි. මෙම ශ්‍රම බලකාය 2023 වනවිට අසූ හතර ලක්ෂ අට දහසක් දක්වා පහළ වැටී තිබිණි. දුගී ගැහැනුන් එදා වේල හොයාගැනීමට ගෘහසේවයටත්, ඒ තීන්දුව ගත් බහුතර තරුණයින් කිසිම අපේක්ෂාවක් සම්බන්ධව අදහසක් නැති තැන කළ හැකි රැකියාවක් සඳහාත් වෘත්තිකයින් සිය දැනුමට සරිලන වැටුපක් අපේක්ෂාවෙනුත් රට හැර ගියහ. 2022 රට ආර්ථික වශයෙන් බංකොලොත් බව ප්‍රකාශ කළාට පසු රට හැර ගිය ශ්‍රමිකයින් ප්‍රමාණය තුන් ලක්ෂ එකොලොස් දහස් පනස් හයකි. 2023 දි රට හැර ගිය ප්‍රමාණය දෙලක්ෂ අනු හත් දහස් හයසිය පනස් හයකි.
බංකොලොත් රටක ආර්ථික අවස්ථා පිහිටන්නේ නැත. බොහෝ ආයතන පවත්වා ගැනීම සඳහා වූ වියදම් අවම කරගැනීමට සේවක කප්පාදුව කළහ. ස්වයං රැකියා සහ කර්මාන්ත පවත්වා ගැනීමට කිසිම සාධාරණ අවකාශයක් නොතිබිණි. මේ තත්ත්වය තුළ යම් වෘත්තීය ශික්ෂණයක් සහිත තරුණ පිරිස් රට හැර ගියහ.
2022-23 සිදුවූ දේ –
ජන හා සංඛ්‍යලේඛණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, මෙරට සේවා වියුක්ත ප්‍රමාණය ලක්ෂ හතරකට ආසන්න ගණනති.
ඒ අතර වැඩි පිරිසක් සිටින්නේ උසස් පෙළ සමත් හෝ ඊට ඉහළ අධ්‍යාපනයක් ලැබූවන්ය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2022 සඳහා නිකුත් කර ඇති දත්තවලට අනුව, සේවා වියුක්ත පිරිස 399332 කි. එයින් 169931 ක පිරිසක් උසස් පෙළ සමත් හෝ ඊට ඉහළ අධ්‍යාපනයක් ලැබූවෝ වෙති.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින් නිරූපණය වන තත්ත්වය එයාකාර වුවත් සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස් වූයේය.
2019 වන විට ආර්ථිකයේ උද්ගත වූ අර්බුදය 2022 වන විට පුපුරා ගියේය. කෘෂිකාර්මික අංශය සියයට 4.6කින් ද කර්මාන්ත අංශය සියයට 16 කින්ද සේවා අංශය සියයට 2 කින්ද කඩා වැටිනි. ඒ සමගම විශාල පිරිසකට රැකියා අහිමි වූයේය.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙරට ආර්ථිකය සඳහා ඉහළ දායකත්වයක් සැපයීය. 2018 සහ 2019 වසරවලදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට සියයට 52 ක පමණ දායකත්වයක් ඒවායෙන් ලැබිණි. මෙරට ජනහනයෙන් සියයට 45 කට පමණ රැකියා සපයනු ලැබුවේද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විසිනි. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මිලියනයකට මඳක් වැඩි ගණනක් රටේ පැවතිණි. ඒහෙත් උද්ගත වූ ආර්ථික අර්බුදය හමුවේ ඒවායෙන් යම් ප්‍රමාණයක් වැසී ගියේය. ඒහි ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිසකට රැකියා අහිමි විය.
උද්ධමනාකරී තත්ත්වයක් පවතින අවස්ථාවක කර්මාන්තකරුවන්ට තමන්ගේ ව්‍යාපාර පවත්වා ගෙන යෑම අසීරු විය. එහිදී මහා පරිමාණ කර්මාන්තකරුවෝ සිය කර්මාන්තශාලා වසා දමා වෙනත් රටවලට යොමු වනු දක්නට ලැබිණී. අපනයන ආදායම අඩු විය. එය නැවත ආර්ථිකයට බලපෑවේය. ඒ පහර වදින්නේ තරුණ ශ්‍රමික පිරිසකට රැකියාව අහිමි කරමිනි.
2022 දි ඇඟලුම් ක්ෂේත්‍රය විශාල පසුබෑමකට ලක් වූයේය. 2023 වසරේ පළමු කාර්තුවේදී එම ක්ෂේත්‍රයේ ඉපැයීම් සියයට 14 කින් පහළ ගොස් තිබිණි. ඇඟලුම් කම්හල් බිඳවැටෙත්ම ඒ ආශ්‍රිත සේවා ආර්ථිකය ද බිඳ වැටිනි.
මෙය අනපේක්ෂිත තත්ත්වයක් ද?
මේ ආර්ථික බිඳවැටීම මෙන්ම එහි විෂම චක්‍රයක් දර්ශක වූ විරැකියාව එක්වරම සිදුවූ අනපේක්ෂිත තත්ත්වයක ප්‍රහාරයක ප්‍රතිඵළයක් සේ කල්පනා කිරීමට බොහෝ දෙනා රුචි වෙති.
රටට නිශ්චිත ශ්‍රම බලකායක් නිර්මාණය කරගැනීම සඳහා විද්‍යානුකූල පදනම සකසන අපේ අධ්‍යධාපන රටාවට ඵලදායී ශ්‍රම බළකායක් නිර්මාණය කරගැනීමට හැකි වූයේ නැත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අධ්‍යාපනය අධ්‍යාපන ක්‍රමය ද ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. එහි මූලිකම ලක්ෂණය වන්නේ රටක සෑම ම දරුවෙකුටම අධ්‍යාපනය ලබා ගැනීමේ සමාන ඉඩ ප්‍රස්ථා තිබිමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කළ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 26 වන වගන්තියට අනුව දරුවකුට ඉගෙනීමට ඇති අයිතිය මානව හිමිකමක් ලෙස දැක්වේ. මෑත භාගයේ දී සම්මත වූ ”සැමට අධ්‍යාපනය” ප්‍රඥප්ති කිහිපයකින්ම මේ බැව් සනාථ කර තිබේ.
එහෙත් ශ්‍රී ලංකාවේ රජයේ සංඛ්‍යාලේඛන අනුව 2020 දී කිසිදා පාසල් නොගිය ළමුන්ගේ සංඛ්‍යාව 51247 කි. පාසලට ඇතුළු වූ විවිධ හේතූන් නිසා මෙන්ම පාසල් පද්ධතියේ අඩුපාඩු නිසා ද පාසල් වලින් අතරමඟ ගිලිහෙන දරුවන් අති විශාල සංඛ්‍යාවක් දක්නට වෙති. පරීක්ෂණ වලින් අසමත්වන ශිෂ්‍ය සංඛ්‍යාවද එයට එක් කල විට ශිෂ්‍යයන්ගේ බහුතරය අධ්‍යාපනයේ ප්‍රතිඵල නොලබති. ඔවුන් අතරින් ආර්ථිකයට ඵලදායීව දායක විය හැකි ශික්ෂිත ශ්‍රමිකයෙක් බිහිවෙත් නම් ඒ විරලවය.
මෙසේ සිසුන් අසමත් වන්නේ ඔවුන්ගේ අසමත්භාවය නිසාම නොවේ. අධ්‍යාපන ක්‍රමය විසින් ඔවුන් සමත් කර ඇති නිසාය. එය නැවත වරක් දුගී බවට මග කියන්නේය.
දුබල හා දිළිඳු දරුවනට ආධාර උපකාර කිරීමේ සාර්ථක වැඩපිළිවෙලක් රටට නැත. වාර්ෂිකව පාසල්වල පළවන ශේණියට ඇතුළත්වන ශිෂ්‍ය සංඛ්‍යාව 350,000 ක් පමණ වේ. වසර 13 ක අධ්‍යාපනයෙන් පසු මේ අය අතරින් විශ්ව විද්‍යාලවල උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගනු ලැබන්නේ 30,000 කට අඩු සංඛ්‍යාවකි.
මෙසේ වී ඇත්තේ දරරුවන්ගේ අසමත්කම නිසා නොවේ. පසුගිය 22 වර්ෂයේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීම සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 150,000 ක් පමණ වූයේය. එසේ සුදුසුකම් ලබා තිබියදීත් ඔවුන් අතුරෙන් ප්‍රවේශ පහසුකම් ලබන්නේ 30,000 කට අඩු පිරිසකටය. මෙයට හේතුව විශ්ව විද්‍යාලවල ඉඩ පහසුකම් නැති වීමයි. ඒ අනුව සුදුසුකම් ලබා තිබුණ ද උසස් අධ්‍යාපනය අහිමිවන 120,000 ක පමණ ප්‍රමාණයට ඊළඟ විකල්පය වන්නේ වෙනත් වාත්තීය පාඨමාලා පවත්වන රජයේ හෝ පෞද්ගලික අංශයේ ආයතනවලට ඇතුළත් වීමය, එහි ද නිශ්චිත ආර්ථික ඉලක්ක වෙත දරුවන් යොමු කිරීමේ වැඩපිළිවෙළක් නැත.
මේ නිසාම උසස් අධ්‍යාපනයේ අවසාන නිෂ්පාදිතය රටේ සංවර්ධනයට අහිතකර අසමතුලිත එකක් බවට පත්කර තිබේ. එහි නිශ්චිත විෂම ඵලය විරැකියාවෙන් ඉපදෙන ආර්ථික පීඩනය ය. එය තරුණයින් විෂයෙහි මුදා හැරෙන විට සිදුවන කිසිදුවන අනාගත ව්‍යසනය ප්‍රබලය.
අප මේ ගොහොරුවේ ගිලී සිටිය දී ලෝකය නව මානයන් සහිත රැකියා වෙළෙඳපලකට තරුණයින් පෙළ ගස්වමින් ඇත. විද්වත් පුරෝකථනය අනුව ඉදිරි ආසන්න කාලයේ දී දැනට පවතින ප්‍රධාන රැකියා ඛාන්ඩ ප්‍රමාණයක් අවලංගු වනු ඇත.
තරගකාරී ශ්‍රම වෙළෙඳපොළ තුළ සාර්ථක වීමට නම් වඩවඩාත් නව නිපුණතා වර්ධනය කර ගැනීම හා හැකියාවන් ඔප් නංවා ගැනීම මෙන් ම අධ්‍යයන කටයුතුවල නිරත වීම ද කළ යුතුය. එහෙත් අපට ඒ සඳහා කිසිදු වැඩ සැලැස්මක් නැත.







