සංචාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුළු 08කින් පරාජය කරමින් විශිෂ්ඨ තරගාවලි ජයග්‍රහණයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූයේය.
තරගය පැවැත්වූනේ ගාල්ල ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයේ දී ය. කාසියේ වාසිය දිනූ නවසීලන්ත ක්‍රීඩිකාවෝ පන්දුවට පහර දීම තේරූහ.
එහෙත් තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය. නවසීන්ත කාන්තා කණ්ඩායමේ කඩුලු 02ක් ලකුණු 127කට දැවී තිබිය දී ඉනිම අත්හිටුවීමට සිදුවිය. ඒ වනවිට පන්දු ඕවර 31ක් යවා තිබිණි. ඕෂධී රණසිංහගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ දැවටීමෙන් ආරම්භක පිතිකාරිනී ඇමීලියා කේර් ලකුණු 19කට දැවී ගියාය. බර්නාදිනේ බෙසුයිඩෙන්හොව්ට් ලකුණු 04කට දුවද්දී දැවී යෑමකට හසු විය.
අනතුරුව කදිම සම්බන්ධයක් ගොඩනැගිනි. සුසී බාට්ස් නොදැවී ලකුණු 63ක් හා නායිකා සොපී ඩෙවයින් නොදැවී ලකුණු 38ක් රැස්කරමින් ක්‍රීඩා කරමින් උන්හ. ඔවුන් දෙපළ නවසීලන්තය වෙනුවේන් දීර්ඝ ඉනිමක් සඳහා අඩිතාලම දමමින් සිටියහ.
එහෙත් අයහපත් කාලගුණය හේතුවෙන් නවසීලන්ත ඉනිම අත්හිටවනු ලැබිණි.

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 29ක දී ලකුණු 196ක ඉලක්කයක් ජයග්‍රහණය සඳහා ලැබිනි.
ආරම්භක පිතිකාරිනියන් වන නායක චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න ඉනිම ආරම්භ කළහ. විශ්මි ලකුණු නොලබා දැවී ගියාය. ඉන් අනතුරුව පිටියට පැමිණි හර්ෂිතා සමරවික්‍රම ලකුණු 03කට දැවී ගියාය.
ඉනිම බිඳවැටී තිබුණු අවස්ථාවේ දී නායකත්වයේ බර කරට ගත් චමරි අතපත්තු මනරම් පිතිකරණයක නිරත වූවාය.
ඇය ලකුණු 140ක් නොදැවී ලැබුවාය. ඒ හතරේ පහර 13ක් සහ හයේ පහර 09ක් සමගිනි.
ඇය ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයන්ට වඩා තමන්ට ශරීර යෝග්‍යතාවක් ඇති බව පෙන්නුම් කළේ තරගය පුරා ජව සම්පන්න කඩුළු අතර දිවීමෙනි.
චමරී නොදැවී ලකුණු 140ක් ලැබුවේ පන්දු 80ක් තුළය. ඒ ඇය අන්තර්ජාතික තරගාවලියක දී ලැබූ 09 වැනි එක්දින ශතකය ය.

මුලදී ඉතා මන්දගාමී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් චමරි සමග ඉනිම ගොඩනැගූ නිලක්ෂි ද සිල්වා පසුව සිය පිති ප්‍රහාරය වේගවත් කළාය. ඇය පන්දු 68ක් තුළ නොදැවී ලකුණු 48ක් ලැබුවාය. පන්දු 13ක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08 ක ජයක් ලැබූහ.
තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා ද ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තුය.







