අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

හොඳටම දිනුම් !

by editor
මාර්තු 25, 2024
in ක්‍රීඩා
කසුන් රාජිත කඩුලු 05යි..

කසුන් රාජිත කඩුලු 05යි..

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අප දිනුම් ය. අප ටෙස්ට් තරගයක ලැබිය හැකි විශිෂ්ටම ජයග්‍රහණයක් ලබාගෙන ය.    මුල් ඉනිමේ දි ලකුනු 280කට දැවී ගිය කණ්ඩායමක් ලකුණු 328ක ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනී අපුරු බව ලියා තැබිය යුතුය. දැන් අප ටෙස්ට් තරගාවලියේ 1-0 ලෙස ඉදිරියෙනි. 

විශිෂ්ට ජයග්‍රහණය පසුපස විනයක් සහිත වේග පන්දු යැවීමත් ධනංජය සහ කමිඳුත් සිටියේය. මුල් ඉනිමේ ලකුණු 280ක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩාය දෙවැනි ඉනිමේ ලකුණු 418කි. ඉනිම දෙකේදීම ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 698කි. ධනංජය සහ කමිඳු ඉනිම දෙකේදිම රැස් කළ ලකුණු ගණන ලකුණු 476කි. ශ්‍රී ලංකා පුහුණුකාර මණ්ඩලයේ  තිලිණ කණ්ඩම්බි ඊයේ කීවේ තමන් දුටු හොඳම ශතක හතරක් කමිඳු සහ ධනා වාර්තා කළ බවය.

ධනංජය සහ කමිඳු… ඉනිම දෙකේදීම ශතක…

බංගලාදේශ කණ්ඩායම මුල් ඉනිමේ දි ලකුනු 188කි. දෙවැනි ඉනිමේ දි ලකුණු 182කි. ඉනිම දෙකේදීම කසුන් රාජිත කඩුලු 08කි. විශ්ව ප්‍රනාන්දු කඩුළු 07කි.  ලහිරු කුමාර කඩුලු 05කි.  ලෝකයේ ප්‍රමුඛතම ටෙස්ට් දඟපන්දු යවන්නාත් වූ ප්‍රභාත් ජයසූරිය යැව්වේ පන්දු ඕවර 16ක් පමණි. කඩුළු ලැබුවේ නැත. තරගයේ පාලනය මුලුමනින්ම    තිබුනේ වේග පන්දු යවන්නන් අතය.

අද  තරගය ආරම්භ කරන්නේ මොමිනුල් හක් සහ ටයිජුල් ඉස්ලාම්ය.  ඊයේ ලකුනු 46කට බංගලාදේශ කඩුලු 05ක් දැවි ගොස් තිබුනේය. ඔවුන්ට ලකුණු 464ක ඉලක්කයක් තිබිණි.  ඔවුන්ට ක්‍රීඩා කළ යුතුව තිබුණේ  ආත්ම ගෞරවය වෙනුවෙනි.

එහෙත් මුලු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 05ක් පමණක් එක්වෙද්දී ටයිජුල් ඉස්ලාම් 06වන කඩුල්ල ලෙස දැවී ගියේය. ඔහු දැවි යන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුනු 51 කි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ඉන් අනතුරුව  මොමිනුල් හක් සහ මෙහිඩි හසන් මිරාස් අතර බංගලි ඉනිමේ හොඳම සම්බන්ධතාවය ගොඩනැගිනි. ඒ සම්බන්දතාවයත් ලකුණු 68ක් පමණි.  මෙහිඩි හසන් මිරාස් ලකුණු 33කට හත්වන කඩුල්ල ලෙස දැවී යනවිට මුළු ලකුනු සංඛ්‍යාව 117කි. 8වන කඩුල්ලට ලකුනු 57ක සම්බන්ධතාවයක් ගොඩනැගුණි. ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 12ක් ලබා ගත්තේය.

බංගලාදේශ කණ්ඩායම දෙවැනි ඉනිම ලකුනු 182කට නිමා කරන විට එක් අන්තයක් ආරක්ෂා කරගෙන මොමිනුල් හක් නොදැවී ලකුණු 87ක් ලබාගෙන සිටියේය.  බංගලාදේශය ලකුනු 328කින් පරාදය.

මොමිනුල් හක් නොදැවී ලකුණු 87ක්

දෙවැනි ඉනිමේ විශිෂ්ට පන්දු යැවිමක නිරත කසුන් රාජිත ලකුණු 56කට කඩුළු 05ක් ලබා ගත්තේය. විශ්ව ප්‍රනාන්දු ලකුණු 36ට කඩුලු 03ක්. ලහිරු කුමාර ලකුණු 39ට කඩුළු 2ක් ලැබුවේය.

වාර්තා රැස

වාර්තා රැස ධනාගේ සහ කමිඳුගේ ය.  මින් පෙර අවසන් වරට ද්විත්ව ශතක ලබාගෙන  මෙවැනි දස්කමක් දැක්වුයේ කුමාර් සංගක්කාරය. ඒ වර්ෂ 2014 දී ය.    දී කුමාර් සංගක්කාර විසින් බංග්ලාදේශයට එරෙහිව ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කර තිබිණි.  ඉන් පසු  ශ්‍රී ලංකාව වෙනුවෙන් එවන් දස්කමක් පෑ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වූයේ ධනංජය ද සිල්වා ය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ   ඉනිම දෙකේදිම ශතක රැස්කල    අට වැනි ශ්‍රී ලාංකිකයා ධනංජය ය.  පළමු ශ්‍රී ලාංකික ටෙස්ට් නායකයා  ද ධනංජය ය.

ඉනිම් දෙකේ ම ශතක වාර්තා කළ නව වැනි ශ්‍රී ලාංකිකයා බවට ලෙස කමිඳු මෙන්ඩිස් මෙම තරගයෙන් පසු ඉතිහාසගත වුනේය.

එමෙන්ම එකම  ටෙස්ට් තරගයක දී   පිතිකරුවන් දෙදෙනෙකුම ඉනිම් දෙකේ දී ම ශතක වාර්තා කිරීමට සමත් වූ ලෝක ටෙස්ට් ඉතිහාසයේ  තෙවන අවස්ථාව කමිඳු සහ ධනංජය සලකුණු කළහ.  මීට පෙර Greg Chappell සහ Ian Chappell විසින් 1974 දීත්,     Azhar Ali සහ Misbah-ul-Haq 2014 දීත්  ඉනිම දෙකේදිම ශතක රැස්කිරීම් සිදුකර තිබිණි.

ඉනිම් දෙකේ වාර්තා කළ ශතක සමග    කමිඳු විසින් නව ලෝක වාර්තාවක් ද පිහිටුවා තබිණි.   ලෝක ටෙස්ට් ඉතිහාසයේ අංක හත හෝ ඊට පහළ පිතිකරණ ස්ථානයක ක්‍රීඩා කරමින් ඉනිම දෙකේ දී ම ශතක වාර්තා කළ ලොව පළමු වැන්නා බවට කමිඳු පත් විය.   කමිඳු පළමු ඉනිමේ අංක 07 පිතිකරු ලෙස සහ දෙවන ඉනිමේ අංක 08 පිතිකරු  ලෙස පිටියට පැමිණියේය.

එමෙන්ම මංගල ටෙස්ට් ඉනිම් තුන අවසානයේ ඉහළම ටෙස්ට් ලකුණු ලාභීන් අතර පෙරමුණේ පසු වන්නේ 1904 වසරේ දී ලකුණු 355ක් ලබා ගත් එංගලන්තයේ R.E.Fosterය.  දෙවැන්නා කමිඳු ය.  කමිඳු ඉනිම් තුනක් නිමාවේ දී   මුළු ටෙස්ට් ලකුණු ප්‍රමාණය සටහන් වන්නේ ලකුණු 327ක් ලෙසයි.

කමිඳුයි.. ධනයි…

තරගයේ සම්පූර්ණ කතාව මෙසේය.

පළමු  දිනය

සිල්හෙට් හි  පැවති පළමු ටෙස්ට් තරගය ඇරඹෙන්නේ සියලුම වාසි බංගලාදේශය සතුව තිබෙද්දීය.  ඔවුන්ගේ රටය. ඔවුන්ගේ ක්‍රීඩාංගන සහ ප්‍රේක්ෂකයන්ය.  කාසියේ වාසියත් බංගලාදේශයටය.     බංගලාදේශ කණ්ඩායම   මුලින්ම පන්දු රැකීම තේරුවේය.

ෙමුල් දිනයේ සාරාංශය කෙටියෙන්ම මෙසේය. කමිඳු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 102 බැගින් ලබාගෙනය. ඉතිරි 08 දෙනාම ලකුණු 76කට දැවී ගොස්ය. ශ්‍රි ලංකා කණ්ඩායමේ හයවැනි කඩුල්ලේ සම්බන්ධතාවය  ලකුණු 202 කි. තරගයටම තිබුණේ මේ ශතක දෙක පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 280කට පන්දු ඕවර 68ක් තුළ දැවී ගියේය.

පළමු  දිනයේ දි සිල්හෙට් හි දුර්ලභ කොළ පැහැති තණතීරුවේ පන්දුවේ දෝලනය උපරිම ලෙස බංගලාදේශ වේග පන්දු යවන්නෝ යොදා ගත්හ.  ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 57 ට කඩුලු 05ක් දැවී ගොස් තිබිණි..

නිශාන් මධුෂ්ක මුලින්ම දැවී ගියේ ලකුනු 02කටය.  පන්දු 37කට මුහුණ දුන් දිමුත් කරුණාරත්න ලකුණු 17කි. ඩුප්ලිකේට් කෝලි බව කී කුසල් මෙන්ඩිස් පිටියට පැමිණි අවස්ථාවේ සිට ක්‍රීඩා කළේ දෙගිඩියාවෙනි. ඔහු පන්දු 26ක් තුළ ලකුණු 16කි.  ඈන්ජලෝ මැතිව්ස් පන්දු 7කි. ලකුණු 05කි.   සීමා ඉරෙන් පිටත සිටිය දි ඔහු දවා ගැනීමට බංගලාදේශ පන්දු රකින්නන් සමත් විය. දිනේෂ් චන්දිමාල් පන්දු 13කි. ලකුණු 09කි. පස්වන කඩුල්ල ලෙස චන්දිමාල් දැවී යන විට  ලකුණු 57කට කඩුලු 05කි.

ඉනිමේ රෙදි ගැලවී නිරුවත් වීම වැළකෙන්නේ ඉන් අනතුරුව ගොඩනැගුන අසිරිමත් සම්බන්ධතාවයත් සමගය. ඒ සම්බන්ධතාවය ගොඩනැගෙන්නට පෙර ලකුණු නොලබා සිටි කමිඳු මෙන්ඩිස් ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවකට ලබා දුන් උඩ පන්දුව  ගිලිහි ගියේය.

ෂෝරිෆුල් ඉස්ලාම්ගේ  පළමු පන්දුවට පළමු ස්ලිප් වෙත කමිඳු ලබා දුන් උඩපන්දුව එහි පන්දු රැකි  මහමුදුල්ලා අතින් ගිලිහී ගියේය. එක පිට එක කඩුළු බිඳවැටෙමින් තිබූ ඒ අවස්ථාවේ ගිලිහුණ උඩපන්දුව මේ තරම් මිල අධිකවනු ඇතැයි බංගලාදේශ කණ්ඩායම කල්පනා කළේ නැත. අවසානයේ ශ්‍රී ලංකා ඉනිම ආශ්වාදනීය ලෙස ගොඩනැගුනා මෙන්ම කමිඳු සිය මංගල ටෙස්ට් ශතකය පූර්ණය කළේය. ගිලිහෙන එක් අවස්ථාවක් තරගයක ඉරණම තීරණය කරන්නේය. බංගලාදේශය තරගයෙ ඉරණම ඒ අත්හැරුණ උඩ පන්දුවෙන් තිරණය කරගත්තා යැයි සිතමු.

කමිඳු සහ ධනංජය අතර ඇතිවන ඒ මනරම් සබඳතාවය අතර ධනංජය ලකුණු 102ක් ලබන්නේ  පන්දු 131ක් තුළය. හතරේ පහර 12කි. එක් හයේ පහරකි. කමිඳු මෙන්ඩිස් ලකුණු 102 පන්දු 127කිනි. හතරේ පහර 11කි. හයේ පහර 03කි.

ධනංජය සහ කමිඳු යන දෙදෙනාම එකම ඕවරයක  අර්ධ ශතක ලබා ගත්හ.   එකම ඕවරයේදී   ශතක ද ලබා ගත්හ.  ඔවුන්ගේ ස්ථාවරයේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ මේ අවදානම් සහිත අවස්ථාවේ දී අනවශ්‍ය අවදානමක් නොගැනීමය.  හතරේ සීමා ඉර ඉක්මවා ගියේ දුර්වල පන්දු පමණි.      සෑම විටම  පහසුවෙන් ඔවුහු එක ලකුණ සොයා ගත්හ.

පළමු දිනයේ  දිවා ආහාරයෙන් පසු දෙවන භාගයේ දි තරගයේ මුළු ආදිපත්‍යයම තිබුනේ කමිඳු සහ ධනංජය අතේය. දිවා ආහාරයට පෙර කාර්තුවේ පාලනය මුළුමනින්ම තමන් සතුව සිටි බංගලාදේශ කණ්ඩායම දෙවැනි අර්ධයේදී හිස් අතගාමින් බලා සිටින තත්ත්වයකට පත් වූයේය. පන්දුව මෘදු වීමත් සමග ධනංජයට සහ කමිඳුට පහසු ලකුණු ගලා ආවේය. ඔවුහු දිවා ආහාරයට පසු කාර්තුවේ  ලකුණු 125ක් ලබා ගත්හ.

කමිඳු දැවි ගොස් හවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගෙන අනගි සම්බන්ධතාවය බිඳි යෑමත් සමගම     ශ්‍රී ලංකා කණ්ඩායම මුලුමනින්ම දවා ගැනීමට බංගලාදේශ පන්දු යවන්නට අවශ්‍ය වන්නේ  පන්දු ඕවර 11 කි.

සිය මංගල ටෙට්ස් තරගය ක්‍රීඩා කළ වේග පන්දු යවන ක්‍රීඩක නහීඩ් රානා ලකුණු 87කට කඩුළු 03ක්, කලිඩ් අහමඩ් ලකුණු 72කට කඩුළු 03ක්, ෂොරිෆුල් ඉස්ලාම්  ලකුණු 59කට කඩුළු 01ක්, ටජුල් ඉස්ලාම් ලකුණු 31කට කඩුල්ලක් ලැබූහ. ලහිරු කුමාර සහ ඈන්ජලෝ මැතිව්ස් දුවද්දී දැවී ගියහ.

විශ්ව ප්‍රනාන්දු….

පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශ කණ්ඩායමේ කඩුළු 03ක් පළමු දිනය තුළම දැවී ගියේය. කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු කදිම පන්දු යැවීමක නිරත වුහ.  නායක නජ්මුල් හොස්සයි ෂන්ටො ලකුණු 05කට, සකීර් හසන් ලකුණු 09කට, මොමිනුල් හක් ලකුණු 5කට ක්‍රීඩාගාරයට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට හැකි වූයේය.

දිනය අවසන් වනවිට   මහමුදුල් හසන් ජෝයි  ලකුණු 09ක් ලබාගෙන නොදැවී සිටියේය. නයිට් වොච්මන් ලෙස පැමිණි ටයිජුල් ඉස්ලාම් ලකුණු  ලබාගෙන සිටියේ නැත. බගංලාදේශය ලකුණු 32කට කඩුලු 03ක් දැවී ශ්‍රී ලංකා මුල් ඉනිමට වඩා ලකුණු 248ක් පසුපසින් සිට තරගය නිමා කළේය.

දෙවැනි දිනය.

දෙවැනි දිනයේ   මුල්ම කඩුල්ල ලෙස දැවී යන්නේ ආරම්භක පිතිකරු මහමුදුල් හසන් ජෝයි ය. උදෑසන කඩුළු දඩයම ආරම්භ කරමින් ලහිරු කුමාර යැවූ පළමු පන්දුවෙන්ම මහමුදුල් තුන්වන ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රැකි නායක ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. ඒ වනවිට මුළු ලකුණු සංඛ්‍යාව 53කි.  පස්වන කඩුල්ල ලෙස ෂහාඩ් හොසෙයින් ලකුනු 18කට දැවී යනවිට බංගලාදේශ කණ්ඩායම හිටියේ බරපතල අර්බුදයකය. ලහිරු කුමාර යලිත් ක්‍රියාත්මක වූයේය. ලහිරුගේ වේගවත් මෙන්ම ඉපිලුමක්  සහිත පන්දුවකින් ගැලවීමට උත්සාහ කළ හොසෙයින් පළමු ස්ලිප් ක්‍රීඩක ධනංජය ද සිල්වා අතට පහසු උඩපන්දුවක් ලබා දීමෙන් දැවි ගියේය. ඒ වනවිට ලකුණු 83ට කඩුලු 05කි.

අනතුරුව ලිටොන් දාස් නයිට් වොච්මන් ලෙස පැමිණි ටයිජුල් ඉස්ලාම් සමග එක් විය. තම ජ්‍යෙෂ්ට පිතිකරුවන් එක් අන්තයකින් පෝලිමට දැවී යද්දී  විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ නයිට් වොච්මන් ටයිජුල් ඉස්ලාම් තමන්ගේ අන්තය ආක්ෂා කරගත්තේය.   ලහිරු කුමාරගේ පන්දුවකට මැද ඉන්න ගලවා ගත් ලිටොන් දාස් ක්‍රීඩාගාරයට යනවිට ඔහු ලබාගෙන තිබුණේ ලකුණු 25කි. ලකුණු 124 දී 6 වැනි කඩුල්ල බිඳ වැටුනේය.

දිනය ආරම්භයේ දිම බංගලි ඉනිම කුඩු කළ ලහිරු…

නයිට් වොච්මන් ලෙස පැමින ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූ ටයිජුල් ඉස්ලාම් දැවී යනවිට ලකුණු 47ක් ලබාගෙන අර්ධ ශතකය මුවවිට සිටියේය. ඒ ඉනිම අර්ධ ශතක කීපයක් වටිනා ඉනිමක් බව කිව යුතුව තිබේ. ඔහු සිය ටෙස්ට් ජීවිතයේ රැස්කළ වැඩිම ලකුණත් එය ය. තම ලකුණු 47 සඳහා ඔහු හතරේ පහර 06ක් එල්ල කර  තිබිණි. ඉනිමේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා ද ඔහුය. ටයිජුල් ඉස්ලාම් හත්වන කඩුල්ල ලෙස කසුන් රාජිත ඉදිරියේ  දැවී යනවිට ලකුනු 140කි. අටවන කඩුල්ල බිඳී යන්නේ ලකුණු  147 දී ය. ඒ මේදි හසන් මිරාස්ය. ඔහුත් ලකුනු 11කට  කසුන් රාජිත හමුවේ දැවී  යන්නේය.

ඉන් අනතුරුව මේ ඉනිමේ දෙවැනි වැඩිම සම්බන්ධය 09 වැනි කඩුල්ලට ගොඩනැගුනේය.ඒ සම්බන්ධතාවය ලකුණු 40කි. සබඳතාව ගොඩනැගෙන්නෙ ෂොරිෆුල් ඉස්ලාම් සහ සහ ඛලෙඩ් අහ්මඩ් අතරය.  අහමඩ් ලකුණු 22කි. ඉස්ලාම් ලකුණු 15කි. ෂොරිෆුල් ඉස්ලාම් සහ ඛලෙඩ් අහමඩ් විශ්ව ප්‍රනාන්දුට ගොදුරු වන්නේය. බංගලාදේශ කණ්ඩායම  දිනයේ තේ පානයට පැයකට පෙර ලකුණු 188කට සියල්ලන්ම දැවී යන්නේ පන්දු ඕවර 51.3ක් තුළය.   ශ්‍රි ලංකා කණ්ඩායම මුල් ඉනිමේ  ලකුනු 92ක් ඉදිරියෙන් සිටියේය.

පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 48කට කඩුළු 04ක්, කසුන් රාජිත ලකුණු 56ට කඩුළු 3ක්, ලහිරු කුමාර ලකුණු 31කට කඩුලු 03ක් ලබා ගත්තේය. ඉනිමම  වේග පන්දු යවන්නගේය.  ළහිරු කුමාර, කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු යන තිදෙනාම   ඉවසීම තරම්ම විඳදරාගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කරමින් විනයගරුක සහ උසස් තත්ත්වයේ වේග පන්දු යැවිමක් වෙහෙස නොබලා සිදුකළ බව ලියා තැබිය යුතුය.

2 දිනය  නිමාවනවිට  ශ්‍රි ලංකා කණ්ඩායමේ කඩුළු 05ක්  ලකුණු සංඛ්‍යාව 119කට දැවී ගොස් තිබිණි.  ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 10කි. මුලින්ම දැවී යන්නේ ඔහුය.   නිශාන් මධුෂ්ක ඉනිම දෙකේදීම ලබා ගන්නේ ලකුණු 12කි.

කුසල් මෙන්ඩිස් ලබා ගන්නේ ලකුණු 03කි. කුසල් මෙන්ඩිස් ඉනිම දෙකේදීම ලබා ගන්නේ ලකුණු 19කි.

දිනේෂ් චන්දිමාල් දැවී යන්නේ තමන් මුහුණ දුන් දෙවැනි පන්දුවේදී ලකුණු නොලබමිනි. චන්දිමාල් ඉනිම දෙකේදීම ලබාගෙන තිබුණේ ලකුණු 09කි.

මැතිව්ස් ස්ථාවර ඉනිමක් ක්‍රීඩා කිරීමට සූදානම් බව සන් කළේය. නමුත් ඔහු ආසන්න උඩපන්දුවක් ලබා දී රැකගත නොහැකිව ලබා ගත් ජීවිතයෙන් ප්‍රයෝජන නොගෙන ඊලඟ  පන්දුවේ දී වගකීම් රහිත පහරකට ගොස්   ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවකට කඩුළු රකින ලිටොන් දාස් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.

කඩුළු 04ක් දැවී යන්නේ ලකුණු 64 දී ය. ඉන් අනතුරුව පිටියට පැමිණෙන ධනංජය ද සිල්වාය.   එක් අන්තක් සොදාගෙන යද්දී අනෙක් අන්තය රැකගෙන සිටි හිටපු නායක දිමුත් කරුණාරත්න  සමග එක්වී ධනංජය යහපත් සම්බන්ධතාවයක් ගොඩනගන බව පෙනුනේය. එහෙත් පස්වන කඩුල්ල සඳහා ලකුණු 49ක සම්බන්ධතාවයක් ගොඩනැගෙද්දී  දිමුත් කරුණාරත්න ෂොරිෆුල් ඉස්ලාම්ගේ කෙටි පන්දුවකට තර්ඩ් මෑන් කලාපයේ පන්දු රැකි නහීඩ් රානා අතට උඩ පන්දුවක් දී දැවී ගියේය.  ඒ වනවිට ඔහු ලකුණු 52ක් ලබාගෙන සිය ටෙස්ට් ජිවිතයේ 36 වැනි අර්ධ ශතකය ලබාගෙන සිටියේය.

නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23ක් ලබාගෙන, දිමුත්ට පසුව නයිට් වොච්මන් ලෙස පිටියට පැමිණි විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 2ක් ලබාගෙන  සිටිය දි දෙවැනි දිනය නිමා විය.

පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායමේ මංගල  ටෙස්ට් තරගය ක්‍රීඩා කරන යොවුන් වේග පන්දු යවන්නා වූ නහිඩ් රානා ලකුණු 42කට දෙවන දිනය තුළ කඩුළු 02ක් ලබා ගත්තේය.   ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 27කටත්, ටයිජුල් ඉස්ලාම් ලකුණු 12කටත්, මෙහිඩි හසන් මිරාස් ලකුණු 05කටත් කඩුල්ල බැගින් ලබාගෙන සිටියේය.

කුසල් මෙන්ඩිස් සුන් කළ රානා….

තුන්වන දිනය

තුන්වන දිනයේ දී තරගය ආරම්භ වන්නේ දෙවැනි ඉනිම ක්‍රිඩා කරන ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 119ට කඩුලු 05ක් දැවී ගොස් තිබිය දී ය. මුල් ඉනිමේ ලබා ගත් ලකුණු 92ක වාසියත් සමග ශ්‍රි ලංකා කණ්ඩායම හිටියේ  ලකුණු 211ක් ඉදිරියෙන්ය. නොදැවී ක්‍රිඩාකරමින් සිටි ධනංජය ද සිල්වා ලකුනු 23ක් සහ නයිට් වොච්මන් ලෙස පැමිණි විශ්ව ප්‍රනාන්දු ලකුණු 02ක් ලෙස දිනය ආරම්භ කළේය.

දිනයේ මුල්ම කඩුල්ල ලෙස දැවී යන්නේ විශ්ව ප්‍රනාන්දුය. විශ්ව ලකුණු 4ක් ලබා සිටිය දි ඛලෙඩ් අහමඩ් ගේ පන්දුවකට  මෙහිඩි හසන් මිරාස් අතට ඔහු උඩ පන්දුවක් දුන්නේය. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 126ට කඩුලු 6කි.

අනතුරුව පිටියට පැමිණියේ  කමිඳුය.  කමිඳුට පසුව කිසිම නම් දැරූ පිතිකරුවෙක් හෝ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නැත. මුල් ඉනිමේ ශතකයක් ලැබූ ක්‍රීඩකයෙක් දෙවැනි ඉනිමේ ලොකු ලකුණකට යෑම ක්‍රිකට් අත්දැකීම් අනුව නම් ඒ තරම් සුලබ නැත.  කමිඳු හෝ ධනංජය අඩු ලකුණු ගණනකට දවා ගත්තා නම් තරගයේ වාසිය බංගලාදේශ කණ්ඩායම අතේය.

ධනංජය 108යි…

එහෙත් සිද්ධ වන්නේ මුල් ඉනිමේ සිදුවූ ලෙසම බංගලියන්ට ක්‍රිකට් එපා කරන ප්‍රහාරය ආරම්භ වීමය. අප සෙවූ ටෙස්ට් රිද්මය යළිත් සොයා ගනිමින් කිසිම කලබලයකින් තොරව ඉවසීමෙන් පන්දු තෝරා ගනිමින් ධනා සහ කමිඳු ඉනිමේ සබඳතාවය ගොඩනැගූහ. ධනංජය ශතකයකි. කමිඳු ශතකයක් සහ අර්ධ ශතකයකි.

ධනංජය ලකුණු 108කට 7වන කඩුල්ල ලෙස දැවී යනවිට පන්දු 179කට මුහුණ දී හතරේ පහර 09ක් සහ හයේ පහර 2ක් එල්ල කර තිබිණි. ඔහු දැවී යන්නේ මුළු ලකුණු ගණන 299 දී ය.  7වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධතාවය ලකුණු 173කි. ධනංජය ලකුණු 108කට දැවි යනවිට කමිඳු   ලබාගෙන  සිටියේ  ලකුණු 84ක් පමණි.  අනතුරුව එක් අන්තයක් ආක්ෂා කරගනිමින් කමිඳු හුදකලාව ලකුණු 80ක් රැස් කළ ආකාරය අධ්‍යයනය කළ යුතු පාඩමක් බව විශ්වාස කරමු.

කමිඳු  සමග එක් වුන ප්‍රභාත් ජයසූරිය මුලින්ම වටිනා ලකුණු 25ක් ලැබුවේය. 8 වන කඩුල්ල වෙනුවෙන් කමිඳු හා ප්‍රභාත්   අතර ගොඩනැගුන සම්බන්ධතාවය ලකුණු 67කි.  ප්‍රභාත් දැවී යන්නේ මෙහිඩි හසන් මිරාස් විසින් යැවූ 101වැනි ඕවරයේ 3වැනි පන්දුවේ දී ය. ඊලඟ පන්දුවේ දීම ලහිරු කුමාරත් දවා ගැනීමට මිරාස් සමත් වන්නේය.  දැන්  කඩුලු ත්‍රිත්වය අසලට මෙහිඩි හසන් මිරාස් පැමිණ ඇත. 09 වන කඩුල්ල දැවී යනවිට ලකුනු 366කි. කමිඳු ලකුණු 116කි. එහෙත් අවසන් ක්‍රිඩකයා වූ කසුන් රාජිත කඩුළු ත්‍රිත්තවය ආරක්ෂා කරගත්තා පමණක් නොව  කමිඳු හා එක් වි අවසන් කඩුල්ල වෙනුවෙන් මනරම් සම්බන්ධතාවයක් ගොඩනැගුවේය.

කසුන් පිටියට පැමිණි අවස්ථාවෙ  සිට කමිඳු ලකුණු රැස් කරන්නේ හතරේ පහර සහ හයේ පහරවලිනි. කසුන් රාජිතගේ අන්තය ආරක්ෂා කරගෙන ලකුණු සොයා යන කමිඳු  එතැන් සිට හයේ පහර 5ක් සහ හතරේ පහර තුනක් එල්ල කරන්නේය. විශේෂත්වය වන්නේ අවසන් කඩුල්ල ලෙස කසුන් රාජිත පිටියට පැමිනෙන තුරු ඔහු එල්ලකර තිබුනේ එක් හයේ පහරක් පමනක් විමය.

කමිඳු 164යි…

අවසන් කඩුල්ල වෙනුවෙන් කමිඳු සහ රාජිත අතර ඇතිවන සම්බන්ධය ලකුණු 52කි. ඉන් ලකුණු 48ක් කමිඳුගේ ය. ලකුණු 4ක් සහිතව රාජිත නොදැවී සිටිද්දී කමිඳු ලකුණු 164කට දැවි ගියේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 418ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් දෙවැනි ඉනිමේ දි ලබා ගන්නේය. ඉන් ලකුණු 272ක් ධනාගේ සහ කමිඳුගේ ය. තම ඉනිම නිමා කරන විට කමිඳු හතරේ පහර 16ක් සහ හයේ පහර 06ක් එල්ල කර තිබිණි.   මුල් ඉනිමේ ලකුණු 92ක වාසියත් සමග බංගලාදේශයට ජයග්‍රහණය සඳහා 511ක ඉලක්කයක් ලැබී තිබිණි.  දින දෙකකුත් කාලක් ඉතිරි වී තිබිණි.

බංගලාදේශය වෙනුවෙන් දෙවැනි ඉනිමේ හොඳම පන්දු යැවීම දඟ පන්දු යවන මෙහිඩි හසන් මිරාස්ගෙන් වාර්තා විය. ඔහු ලකුණු 74කට කඩුළු 04ක් බිඳ හෙළුවේය. නහිඩ් රානා ලකුනු 128කට කඩුලු 02ක්, ටයිජුල් ඉස්ලාම් ලකුණු 75කට කඩුළු 02ක්,  ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 75කට කඩුල්ලක්, ඛලෙඩ් අහමඩ් ලකුණු 46ට එක් කඩුල්ලක් ලබා ගත්තේය.‍ෙ

තුන්වන දිනයේ දි බංගලාදේශයට පිතිකරණය සදහා පැයකට ආසන්න කාලයක් ඉතිරිව තිබිණි.    විශ්වාසයක් සහිත ආරම්භයක් ලබාගෙන  දිනය නිමා කිරීමේ අභියෝගය සහිතව බංගලාදේශ ඉනිම ආරම්භ වන්නේය. ලබා ගත යුතු   ඉලක්කය ලකුණු 511කි.

එහෙත් විශ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ කසුන් රාජිත ත්‍රිත්වය එක්වී මනරම් වේග පන්දු පෙළහරක් පෑහ. වමත් වේග පන්දු යවන විශ්ව පළමු පන්දු ඕවරයේ දී ලකුණු ලබා නොගෙන සිටි ආරම්භක පිතිකරු මහ්මුදුල් හසන් ජොයි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් ආකාරය අතීතයේ දී චමින්ද වාස් කළ වික්‍රමයන් සිහි කැඳවූ බව කිව යුතුය. ඔහුගේ වේග පන්දු රිද්මය බලාපොරොත්තු සහගත ආශ්වාදයක් රැගෙන ආවේය. විශ්ව පන්දු ඕවර 7ක් යැව්වේය. ලකුණු 13කට කඩුලු 03ක් ලැබුවේය. කසුන් පන්දු ඕවර 3කි. ලකුණු 19ට කඩුල්ලකි. ලහිරු පන්දු ඕවර 3කි. ලකුණු 06ට කඩුල්ලකි.

බංගලාදේශය මුලුමනින්ම බිඳ වැටී සිටි ආකාරය පෙනුණි. හැඟීම් රහිත මුහුණුය. නායක නජිමුල් හොසෙන් සැන්ටො දැවී යන්නේ  ලකුණු 511ක් හඹා යන්නට ගොස් ලකුණු නොලබා සිය ආරම්භක පිතිකරු දැවී යනවිට ක්‍රිඩා කළ යුතු නායකයෙක් ලෙස නොවේ. ඉතාම අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස්  ස්ලිප්හි පන්දු රැකි දිමුත් කරුණාරත්න අතට උඩපන්දුවක් දී  ඔහු ලකුණු 06කට දැවී යනවිට මුළු ලකුනු ගණන 9කි.

මහ්මුදුල් හසන් ජොයි  සමග අනෙක් අන්තයෙන් ඉනිම ඇරඹූ සකිර් හසන් ලකුනු 19කට ලහිරු කුමාරට ගොදුරුවන්නේ ඉනිමේ 7වැනි ඕවරයේ 5වැනි පන්දුවේදී ය. ඒ වනවිට මුලු ලකුනු ගණන 36කි.

විශ්ව ලකුණු 13ට කඩුළු 03යි…

අනතුරුව විශ්ව ප්‍රනාන්දු කඩුලු ත්‍රිත්වයක් අසලට එන්නේය. ඒ ෂහාඩට් හොසෙන් 8 වැනි ඕවරයේ 3වැනි පන්දුවේදීත්, ලිටොන් දාස් අටවැනි ඕවරයේ සිව්වන පන්දුවේදීත් දවා ගැනීමෙනි.  බංගලාදේශ කණඩායමේ කඩුළු 05ක් දැවී යන්නේ ලකුණු 37කටය.

ලිටොන් දාස් මේ තරගයට පෙර ටෙස්ට් තරග 39ක ඉනිම 68ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි. තම කණ්ඩායම ලකුණු 37කට කඩුලු 04ක් බිඳී ගිය අවස්ථාවක, පන්දු යවන්නන් උපරිම රිද්මයෙන් පන්දු යවමින් සිටින අවස්ථාවක පිටියට පැමිණ මන්දබුද්ධිකයෙක් සේ මුල්ම පන්දුවට ජාත්‍යාන්තර පිතිකරුවෙක් විසින් එල්ල කරනු ඇතැයි අපේක්ෂා නොකරන පහරක් එල්ල කර දැවී ගිය ආකාරය ක්‍රිකට් විචාරකයින්ගේ නිර්දය විවේචනයට ලක්වුන අයුරු ඇසුවෙමු.

තුන්වන දිනයෙ වෙනුවෙන් ඊයේ තරගය නිමාවනවිට බංගලාදෙශ කණ්ඩායම ලකුණු 47ට කඩුළු 05ක් දැවී ගොස් සිටියේය.  ඔවුන් හිටියේ තවත් ලකුනු 464ක් ලබා ගත යුතු අවස්ථාවකය.  කඩුලු 05ක් දැවි ගොස් තිබිණි.

අද බංගලාදේශය පිටියට අවතීරණ වන්නේ විලිලජ්ජා නැති පරාජයකින් බේරීමට මිස තරග ජයග්‍රහණයකට නොවේ. එහෙත් ඒ අවස්ථාවත් ඔවුන්ට අහිමි වී ඇත. ලකුණු 344ක පරාජයක් යනු ලැබිය හැකි බිහිසුණුම පරාජයකි. තමන්ගේ රටේ තමන්ගේ ක්‍රීඩාංගනවල තමන්ගේ ක්‍රිකට් ලෝලීන් ඉදිරියේ එවැනි පරාජයක් ලැබීම ඛේදවාචකයක් වැනිය.

මේ තරග පරාජය කාට කාටත් හොඳ පාඩමක් කියා දුන් බව පෙනුනේය. කවුරු කවුරුත්  තුට්ටු දෙකේ පේව්මන්ට් ෂෝ නොදා ක්‍රිකට් විතරක් ගැහුවානම් හොඳය. මෙවැනි ප්‍රතිඵල ලාබ ෂෝවල ආතල් කුඩුකර ඛේදවාචක මවන්නේය.  හෙට අපටත් මේ දේ සිදුවිය හැකි බව සිිහි කරගැනීම වැදග්ත බව අවසන් වශයෙන් ලියා තබමු. ඒ නිසා අපි ක්‍රිකට් විතරක් ගහමු.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මොස්කව් ප්‍රහාරයට සම්බන්ධ වූවන්ගේ ඉරණම….

Next Post

ප්‍රකාශය ලබා දී හිටපු ජනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍මේන්තුවෙන් පිටව යයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.