සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුළු 05ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඒ ඉනිමේ තවත් පන්දු 172ක් යැවීමට ඉතිරිවී තිබිය දීය.
කාසියේ වාසිය දිනා ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහරදීම තේරූහ. එහෙත් එම තේරීම බරපතල ව්‍යසනයක් වන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පන්දු ඕවර 31 තුළ ලකුණු 92කට ඔවුන්ගේ ඉනිම සීමා කිරීම නිසාය.
බටහරි ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය වන්නේ ආරම්භක පිතිකාරිණියවන රෂාඩා විලියම්ස්ය. ඇය ලකුණු 24ක් ලැබුවාය. ඒ පන්දු 62කට මුහුණ දෙමිනි. චිනෙල් හෙනී සහ ආෆි ෆ්ලෙට්චර් ලකුණු 16 බැගින් ලැබූහ. චෙඩාන් නේෂන් ලකුණු 12කි. අනෙක් කිසිම ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.
පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කවීෂා දිල්හාරි පන්දු ඕවර 06ක් යවා ලකුණු 20කට කඩුළු 04ක් දවා ගත්තාය. චමරී අතපත්තු ලකුණු 08කට කඩුළු 02කි. යැව්වේ පන්දු ඕවර 2ක් පමණි. අචිනි කුලසූරිය ලකුණු 16කට කඩුළු 02කි. සුගන්ධිකා කුමාර ලකුණු 16කට කඩුල්ලකි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තිබුණේ ලකුණු 92ක පහසු ඉලක්කයකි. එහෙත් නායක චමරී අතපත්තු ලකුණු 01කට දැවි ගියාය. අංක තුන පිතිකාරිණිය හර්ෂිතා සමරවික්‍රම ලකුණු ලබා ගත්තේ නැත. හසිනි පෙරේරා ලකුණු 01කි.
එහෙත් ආරම්භක පිතිකාරණී විශ්මි ගුණරත්න හතරේ පහර 9ක් සමග පන්දු 50කට විශිෂ්ට අර්ධ ශතකයක් ලැබුවාය. කවීෂා දිල්හාරි පන්දු 38කට හතරේ පහර 04ක් සමග ලකුණු 28කි.
විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට ලකුණු 58ක සම්බන්ධතාවයක් ගොඩ නැගූහ.
මේ වනවිටත් බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම් අතර තරගාවලියේ තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමටය.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ඇත.
එක අතකට රට ඒ තරම්ම අවාසනාවන්ත නැත. පිරිමින්ගේ ක්‍රිකට් සූදුවක් වනවිට ක්‍රිකට්වල ජීව ගුණය ක්‍රීඩාව වෙනුවෙන්ම ආරක්ෂා කරගෙන අප ආදරය කරන ක්‍රිකට් අපේ කෙල්ලන්ගේ ජවයෙන් පෝෂණය වෙමින් ඇත්තේය.