ලෝකයේ බලවත්ම රාජ්‍ය නායකයන්, ව්‍යාපාරික දැවැන්තයන් සහ බුද්ධිමතුන් එකම වේදිකාවකට රැස් කරන ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum – WEF) 56 වන වාර්ෂික සමුළුව අද (19) ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හිදී ආරම්භ විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම සුවිශේෂී ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා අද දිවයිනෙන් පිටත්ව ගියාය.
ලෝක ආර්ථික සංසදය යනු කුමක්ද?
ලෝක ආර්ථික සංසදය යනු ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මූලස්ථානය කරගත් ලාභ නොලබන ජාත්‍යන්තර සංවිධානයකි. මෙය හුදෙක් ආර්ථිකය ගැන පමණක් කතා කරන තැනක් නොවන අතර, ලෝකය මුහුණ දෙන දේශපාලනික, සමාජීය සහ පාරිසරික අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ කරන සුවිශේෂී මධ්‍යස්ථානයකි.
මෙවර 56 වන සමුළුව පැවැත්වෙන්නේ A Spirit of Dialogue යන තේමාව යටතේය. පවතින ගෝලීය දේශපාලන නොසන්සුන්තාව සහ ආර්ථික අස්ථාවරත්වය හමුවේ රටවල් අතර සහයෝගිතාව වර්ධනය කිරීම මෙම හමුවේ මූලික අරමුණය.
ඉතිහාස ගමන
ලෝක ආර්ථික සංසදයේ ආරම්භය 1971 දක්වා දිවයයි. ජර්මානු ජාතික ඉංජිනේරුවකු සහ ආර්ථික විද්‍යාඥයකු වූ ක්ලවුස් ශ්වාබ් (Klaus Schwab) විසින් මෙය ආරම්භ කරන ලද්දේ “යුරෝපීය කළමනාකරණ සංසදය” (European Management Forum) යන නමිනි. එම සමුළුවේ ප්‍රථම රැස්වීම 1971 දී ඩාවෝස් හිදී පැවැත්විණි. වර්ෂ 1987 වනවිට මෙහි ක්‍රියාකාරීත්වය ගෝලීය මට්ටමට ව්‍යාප්ත වීමත් සමඟ “ලෝක ආර්ථික සංසදය” ලෙස සමුළුවේ නම වෙනස් විය.
ලෝක ආර්ථික සංසදය දශක පහක් පුරා විවිධ ගෝලීය අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මධ්‍යස්ථ වේදිකාවක් සැපයීය. ජර්මනිය එක්සත් කිරීම සඳමා නූ අරගලය, දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය අවසන් කිරීම පිළිබඳ ප්‍රබල කථිකාවක් ගෝලීය මට්ටමින් ගොඩනැගීමට මෙම සමුළුවට හැකිවූ ඉතිහාසයක් තිබිණි.
ගෝලීය වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ භූමිකාව
ඩාවෝස් සමුළුව ලෝකයට වැදගත් වන්නේ ප්‍රධාන කරුණු කිහිපයක් නිසාය:
- ප්‍රතිපත්ති සම්පාදනය: ලෝකයේ ප්‍රමුඛතම සමාගම් 1,000ක ප්‍රධානීන් සහ රාජ්‍ය නායකයන් මෙහිදී හමුවන බැවින් අනාගත ගෝලීය ආර්ථික ප්‍රතිපත්ති හැඩගැසෙන්නේ මෙහිදීය.
- ආයෝජන අවස්ථා: ශ්‍රී ලංකාව වැනි රටවලට ජාත්‍යන්තර ආයෝජකයින් සමඟ සෘජුව ගනුදෙනු කිරීමටත්, රටේ ආර්ථික ප්‍රකෘතිය සඳහා සහයෝගය ලබා ගැනීමටත් මෙය මහඟු අවස්ථාවකි.
- තාක්ෂණය සහ නවෝත්පාදන: කෘතිම බුද්ධිය (AI) සහ හරිත බලශක්තිය වැනි නවීන ප්රවණතා ගැන මෙහිදී ගැඹුරින් සාකච්ඡා කෙරේ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙම සමුළුවේදී ජාත්‍යන්තර ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමටත්, නව ආයෝජන දිනා ගැනීමටත් මෙම සංචාරය ඉතා තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අද සිට ලබන 23 වැනිදා දක්වා පුරා දින පහක් තිස්සේ මුළු මහත් ලෝකයේම අවධානය ඩාවෝස් හි හිමෙන් වැසුණු කඳු වැටි වෙත යොමු වී පවතින්නේ එහිදී ගන්නා තීරණ පෘථිවියේ බිලියන සංඛ්‍යාත ජනතාවගේ අනාගතයට බලපාන බැවිනි.







