ලෝකයේ මෑත කාලීනව සිදුවූ බිහිසුණුම සමුද්‍ර පරිසර විනාශය ලෙස කියැවෙන ශ්‍රී ලංකා සමුද්‍ර කලාපයේ කොළඹට නුදුරින් සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න සම්බන්ධ සිද්ධියට අදාල නඩුව ගොනු කිරීම වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ බාධා කිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් හුවමාරු වූ බවට තොරතුරු ලැබී ඇතැයි අධිකරණ ඇමති විජේදාසා රාජපක්ෂ හෙළි කරයි.
ඊයේ (12) රාත්‍රියේ ජාතික රූපවාහිනියේ “මහජන දිනය” සජීවී රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් ඔහු පැවසුවේ තමන් මේ කරුණු හෙළි කරන්නේ පළමු වට බවය.
නීතිපති දෙපාර්තමේන්තුව හා මීපා ආයතනනය අතර දිගින් දිගටම සිදුවූ කඹ ඇදීම හේතුවෙන් ඇති වී තිබූ තත්ත්වය නිසා තමන්ට අදාල නොවුනත් මෙම නඩු කටයුත්තට මැදිහත් වීමට සිදුවූබව ඇමතිවරයා කීවේය.
තමන් මැදිහත් වෙමින් ඉල්ලූ විශේෂඥ වාර්තා ද දිගින් දිගටම ප්‍රමාද වූ බව කී ඇමතිවරයා හෙළි කළේ මේ අතර නැව් සමාගමේ රක්ෂණ ආයතනය විසින් මෙම නඩුව වළක්වා ගැනීමට මෙරට යම් පුද්ගලයෙකුගේ ලන්ඩන් ගිනුමක් වෙත ඩොලර් මිලියන 250ක මුදලක් අල්ලසක් ලෙස බැර කර ඇති බවට තොරතුරක් ලැබුණු බවය.
මේ කාරණාවේ ඇත්ත නැත්ත කිසිවක් නොදන්නා නමුත් එම තොරතුර දැනගත් මොහෝතේදීම සිද්ධිය ගැන පොලිස්පතිවරයාට දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා තොරේ සත්‍යතාවය පිළිබඳ සර්ව සම්පූර්ණ වාර්තාවක් කැඳවීමට කටයුතු කළ බව ඇමතිවරයා කීවේය.
එම වාර්තාව ලැබුණු පළමු මොහොතේම අකටයුත්තක් සිදුවී ඇත්නම් ඊට එරෙහිව කටයුතු කරන බව ඔහු පැවසුවේය.