2026 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍රානුකූල රාජ්‍ය හිසතෙල් ගැල්වීමේ මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීත්වයෙන් අද (15) පෙරවරුවේ මහනුවරදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි ශ්‍රී මහා නාථ දේවාල භූමිය මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා සූදානම් කර තිබූ අතර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබිණි. මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වය යටතේ සියලු කටයුතු සිදු විය.

ජනාධිපතිවරයා අද උදෑසන පළමුව ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වෙමින් උදා වූ නව වසරට ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව පෙරවරු 6.55ට යෙදුණු සුබ මොහොතින් හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රයට එක් විය. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිවරයා ප්රමුඛ පිරිස වෙත චාරිත්‍රානුකූලව හිසතෙල් ගැල්වීම සිදු කරන ලදී.
මෙහිදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් රටට සහ ජනතාවට ආශිර්වාද එක් කළහ. මෙම අවස්ථාවට සහභාගී වූ ජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතා බහක නිරත වූ අතර, ජනතාවද නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිරිනැමූහ.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමි සහ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක හිමි ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ. තවද සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ගමගෙදර දිසානායක, ප්‍රසන්න ගුණසේන සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.







