මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී මෙරට තුළ ඇතිවිය හැකි ඉන්ධන සීමාකාරී තත්ත්වයට මුහුණ දීම සඳහා දුම්රිය සේවාව කඩිනමින් ශක්තිමත් කළ යුතු බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් මාර්ගවලට එල්ල වී ඇති බාධා හේතුවෙන් පෞද්ගලික වාහන භාවිතය සීමා වනු ඇති බවත්, ඒ හරහා කාර්යාල සේවකයන්, පාසල් සිසුන් ඇතුළු මහජනතාව පොදු ප්‍රවාහනය වෙත යොමුවීම අනිවාර්ය බවත් එම සංගමය පෙන්වා දෙයි. විශේෂයෙන් නාගරික හා තදාසන්න ප්‍රදේශවල ප්‍රවාහන පද්ධතිය මත ඇතිවන දැඩි පීඩනය කළමනාකරණය කිරීමට දුම්රිය සේවය කඩිනමින් පුළුල් කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ යෝජනාවලියක් ද යොමු කර තිබේ. මෙම අවදානම් තත්ත්වය පිළිබඳව තමන් පසුගිය 04 වැනිදා දුම්රිය දෙපාර්තමේන්තුව ද දැනුවත් කළ බව පවසන එම සංගමය, ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට ගත යුතු ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි.
පහත දැක්වෙන්නේ එම සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියයි.








