ඉන්ධන පිරිමැසීම පිළිබඳ සෑම අමාත්‍යාංශයක් සතුවම ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එය දත්ත මත පදනම් වූ අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන තිරසාර ක්‍රියාවලියක් විය යුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අවම බලශක්ති පරිභොජනයක් සහතික කරන කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශ මට්ටමින් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරිම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව සමඟ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.
ඊයේ (16) අමාත්‍යවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය සහ පෞද්ගලික සැපයුම් දාම අඛණ්ඩව පවත්වා ගනිමින් ජනතාවට හිඟයකින් තොරව සාධාරණ මිලට භාණ්ඩ සැපයීම තහවුරු කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබේ.
ඉන්ධන මිල ඉහළ යාම සමඟ භාණ්ඩ මිල ද ඉහළ යාම සලකා බලා, ගොවි ජනතාවට බලපෑමක් නොවන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සාධාරණ මිලට ලබා දීමට ගත හැකි ක්‍රියාමාර්ග සහ මිල පාලනය සඳහා වන විකල්ප ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ආරම්භ කර ඇති නව වැඩපිළවෙළ
සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම තොග ආනයනකරුවන් සමග ද සාකච්ඡා කර, ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතා පිළිබඳ තොරතුරු රැස් කරමින් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
සංචාරක ක්ෂේත්රයේ ඉන්ධන අවශ්‍යතා සලකා බලා මින් පෙර භාවිත කළ QR ක්‍රමය පවත්වාගෙන යාම පිළිබඳවත්, හෝටල් සඳහා අවශ්‍ය ගෑස් සහ ඉන්ධන පහසුකම් සලසා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු විය.
බහුදින ධීවර යාත්‍රා සහ වරාය කටයුතු සඳහා ඉන්ධන ලබා දීම මේ වන විටත් සිදු කෙරෙන අතර එම කෝටා ප්රමාණයන්හි පවතින ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
කර්මාන්තකරුවන් පිළිබඳ තොරතුරු රැස්කර ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, ඔවුන්ට අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරිය සඳහන් කළාය.
මීට අමතරව, කෘෂිකර්ම කටයුතු සඳහා ඉන්ධන ලබා දීමේදී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ගේ නිර්දේශ මත එම කටයුතු සිදු කිරීමටත්, ඒ සඳහා ගොවි සංගම් මැදිහත් කර ගැනීමටත් තීරණය විය.
විශේෂ අවධානය
වරාය මෙහෙයුම්, ගුවන් තොටුපොළ කටයුතු, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති සහ වැවිලි ක්ෂේත්රයට අවශ්‍ය ඉන්ධන පහසුකම් සැලසීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යන අතරම, උපරිම ඉන්ධන පිරිමැසුම් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා තොරතුරු රැස් කර ඇති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දුන්නේය.
ඖෂධ සහ රෝහල් ආහාර ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන තොරතුරු දැනටමත් ඛනිජ තෙල් සංස්ථාව වෙත ලබා දී ඇත.
ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ කටයුතු ජාතික ආර්ථිකයට අවම බලපෑමක් වන පරිදි කළමනාකරණය කර ගැනීමටත්, නිරන්තරයෙන් යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් හරහා රටේ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට පූර්ණ මැදිහත්වීම සිදු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන් වන වසන්ත සමරසිංහ, බිමල් රත්නායක, කේ.ඩී. ලාල්කාන්ත, කුමාර ජයකොඩි, සුනිල් හදුන්නෙත්ති, අනුර කරුණාතිලක සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අමාත්‍යාංශ ලේකම්වරුන් වන කේ.ඒ. විමලේන්තිරාජා, තිලකා ජයසුන්දර, කෝලිත කමල් ජිනදාස, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති ඇතුළු රේඛීය ආයතන ප්‍රධානීහු පිරිසක් එක්ව සිටියහ.







