තමන් දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට මාරු කර යැවීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී එම ස්ථාන මාරුව පොලිස් කොමිසමේ ආවරණ අනුමැතිය යටතේ ක්‍රියාත්මක කිරීමට මහජන ආරක්‍ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් ගෙන ඇති තීරණය දේවේෂ සහගත, හිතුවක්කාර සහ අසාධාරණ එකක් බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත.
ඔහු පොලිස් කොමිසමට ලිඛිතව දන්වන්නේ ඇමතිවරයා තමන් වෙත මෙම ද්වේෂ සහගත බලපෑම සිදුකරනු ලබන්නේ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ආරක්ෂා කරගැනීමට බවය.
අමාත්‍ය ටිරාන් අලස් පසුගිය අප්‍රේල් 18 වැනි දින සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සඳහා රැස්වීමක් පැවැත්වූ අතර එහිදී පොලිස්පතිවරයාගේ උපදෙස් මත තමන් විසින් සකස්කරන ලද ලිපියක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා තමන්ට තරවටු කළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කොමිසම දැනුවත් කර තිබේ.
තවද අනාගත පොලිස්පති ධූරය සම්බන්ධව සයිබර් අවකාශයේ ප්‍රචාරවන යම් යම් සමාජ මාධ්‍ය වාර්තා පිළිබඳව ද අමාත්‍යවරයා තමන්ට චෝදනා කර ස්ථාන මාරුවක් සිදුකරන බවට ඉඟි ලබා දුන් බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි.
අදාල රැස්වීමෙන් පසු ඔහුව අමාත්‍ය ටිරාන් අලස්ගේ කාර්යාලයට ගෙන්වා තමන් යටතේ ඇති දකුණ පලාත නීතිය හා සාමයේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව දන්වා සිටියේ යැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරය පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ලිඛිතව දන්වන්නේ අමාත්‍යවරයා නිවැරදිදැයි බැලීමට අපරාධ, වෙඩි තැබීම්, මිනී මැරීම් සහ පොලිසියට සම්බන්ධ ක්‍රියාකාරකම් ප්‍රමාණ අරභයා දකුණු පළාත සහ බස්නාහිර පළාත අතර සන්සන්දනාත්මක ඇගයීමක් කර බැලීමට ජාතික පොලිස් කොමිසමට ආරාධනා කරන බවය.
“ඇමතිවරයා මේ සියලු ද්වේශ සහගත ක්‍රියා කරන්නේ අපට හිරිහැර කිරීමට සහ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙක් ආරක්ෂා කිරීමටය.”
“එබැවින්, ජාතික පොලිස් කොමිෂන් සභාව මගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් ද්වේශසහගත නිර්දේශ අනුමත නොකර මේ සම්බන්ධයෙන් මගේ ගැටලුව සොයා බලන්නේ නම් කෘතඥ වෙමි.”
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් කොමිසමෙන් ලිඛිතව ඉල්ලා ඇත.