ලබනවර්ෂය සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි-පැවිදි සිසුන් සහ සීල මාතාවන් වෙනුවෙන් නොමිලේ පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ සුවිශේෂී වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
මෙම පාවහන් යුගල ලබා දීමේ 2026 වර්ෂයේ වැඩසටහන ක්‍රමවේදයන් දෙකක් යටතේ ක්‍රියාත්මක වූ අතර, ඉන් මුළු පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571 ක් ආවරණය කිරීමට රජය සමත් විය. 2027 වර්ෂය සඳහාවන මෙම පාවහන් ලබා දීමේ වැඩසටහන 2026 වර්ෂයේ තෙවන පාසල් වාරය අවසාන වීමට ප්‍රථම සම්පූර්ණයෙන්ම නිම කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.
2026 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදයේ ප්‍රගතිය මත පදනම්ව මෙවර ද ක්‍රමවේදයන් දෙකක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී ඇත. ඒ අනුව,
-
බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත්වල: දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් අදාළ පාසල් වෙතටම ගෙනැවිත් ලබා දෙන පාවහන් මිල දී ගැනීමට තීරණය කර ඇත.
-
මධ්‍යම, උතුර, උතුරුමැද සහ ඌව යන පළාත්වල: වෙළෙඳපොළෙන් පාවහන් මිල දී ගැනීම සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි-පැවිදි සිසුන් සහ සීල මාතාවන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් 3,000/-ක වටිනාකමකින් යුත් තිළිණ පත් (Vouchers) බැගින් ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.
සිසුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට අතහිත දීමක් ලෙස මෙම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.









