ශ්‍රී ලංකාව තුළ ගල්අඟුරු ආශ්රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට 2026 අප්‍රේල් 16 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ සිදුවූ බව කියන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පූර්ණ බලැති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබ තිබේ.
1978 අංක 04 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතේ සංශෝධිත ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 07 දරන පනතේ 2 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම පියවර ගෙන ඇත. රජයට අයත් සී/ස ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්රාප්තිකයින් මඟින් මෙරටට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
කොමිසමේ සංයුතිය
මෙම කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග පත් කර තිබේ.
එහි සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න කටයුතු කරති. කොමිෂන් සභාවේ ලේකම් වශයෙන් හිටපු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් පී.වී. බන්දුලසේන පත් කර ඇත.
විමර්ශනයට ලක්වන ප්‍රධාන කරුණු
මෙම කොමිෂන් සභාව වෙත පැවරී ඇති වගකීම් සහ විමර්ශන පරාසය මෙසේය:
- ප්‍රසම්පාදන සහ මූල්‍ය හානිය: ගල්අඟුරු ආනයනයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි සොයා බැලීම සහ එමඟින් රජයට සිදුව ඇති මූල්‍ය හානිය තක්සේරු කිරීම.
- ප්‍රමිතිය සහ ක්‍රියාවලිය: අදාළ කාලය තුළ නිසි ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කර ඇත්දැයි පරීක්ෂා කිරීම සහ ප්‍රසම්පාදන, සැපයුම්, තත්ත්ව පරීක්ෂණ, මෙහෙයුම් සහ උපයෝගීතා ඇතුළු සමස්ත ක්‍රියාවලියම විමර්ශනය කිරීම.
- ඵලදායීතාව: ආනයනය කරන ලද ගල්අඟුරු භාවිතයෙන් විදුලි ජනනය කිරීමේදී අපේක්ෂිත ඵලදායී මට්ටමින් එය සිදු වී ඇත්දැයි සොයා බැලීම.
- නීතිමය සහ ගෙවීම් ගැටලු: ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතයෙන් විදුලිය උත්පාදනය කිරීමේදී නෛතික සහ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇත්දැයි බැලීම. එමෙන්ම ගිවිසුම්ගත කොන්දේසි කඩවීම් හමුවේ ගෙවීම් අත්හිටුවීම හෝ හානි පූර්ණ ක්‍රියාමාර්ග ගෙන ඇත්දැයි විමසා බැලීම.
- වගකිවයුත්තන් හඳුනා ගැනීම: අක්‍රමිකතා සිදුවී ඇත්නම් ඒ සඳහා වගකිව යුතු දේශපාලන අධිකාරිය, රජයේ නිලධාරීන්, ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන්, සැපයුම්කරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග යෝජනා කිරීම.
- අනාගත නිර්දේශ: මෙවැනි අකටයුතුකම් අනාගතයේදී වැළැක්වීම සඳහා අවශ්‍ය සුපිළිපන්න භාවය තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කිරීම සහ වාර්තා කිරීම.
මීට අමතරව ගල්අඟුරු ආනයනය සහ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් වාර්තා විය හැකි වෙනත් ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමේ බලයද මෙම කොමිසමට පවරා ඇත.







