තමන් විසින් ආයතනවලට පත් කරන ලද සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් වෘත්තිකයින් බවත්, ඔවුන් ස්වේච්ඡාවෙන් වැඩ කරන බවත් ජාතික ජන බලවේග ආණ්ඩව නිරන්තරයෙන්ම පැවසුවත් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ආණ්ඩුව විසින් පත් කර ඇත්තේ එම සංස්ථාවේම පක්ෂ ක්‍රියාකාරිකයෙක් බවත් ඔහු මාසිකව රුපියල් හය ලක්ෂ විසි පන් දහසක පඩියක් ගන්නා බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු සිය වැටුප කලින් සභාපතිවරයාට වඩා වැඩි කරගෙන ඇති බව කී මන්ත්‍රීවරයා විධායක අධ්‍යක්ෂවරයා රුපියල් දෙලක්ෂ අනූ පන් දහසක මූලික දීමනාවක් ලබන බව ද හෙළි කළේය.
“ඔබතුමන්ලා ආයතනවලට පත් කළ සභාපතිවරු පඩි ගන්නේ නැතිව වැඩ කරනවා කියලා හැම තිස්සෙම කියනවානේ. මේ සභාපති ( ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ) හය ලක්ෂ විසිපන්දහසක් පඩි ගන්නවා. එයාගෙ එළවන්ස් එක… නොවැම්බර් දෙසැම්බර්වලදි අරන් තියනවා . මම ලඟ පේපර් එක තියනවා. මේ ආයතනයේම කලින් වැඩ කරන කට්ටියමයි සභාපතියි විධායක අධ්‍යක්ෂයි දෙන්නම. විධායක අධ්‍යක්ෂ දෙලක්ෂ අනූ තුන් දහසක් පඩි ගන්නවා. . මීට කලින් සභාපතිවට වඩා නව සභාපතිවරයා දීමනා වැඩි කරන් තියනවා. ”
මීට පිළිතුරක් ලබා දිය හැකිදැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ඒ ගැන නිසි පිළිතුරක් විදුලි බල සහ බලශක්ති ඇමතිවරයා විසින් ලබා දෙනු ඇති බවය.
“එක් එක නම් තියන නිලධාරීන් ගන්න දේවල් මොනවද නොගන්න දේවල් මොනවද කියලා ඇමතිවරයා ඉස්සරහට කියයි. ” වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.







