දිනසේන රතුගමගේ –
යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර, ඔහුගේ නිවසේ තිබූ රුපියල් මිලියන ගණනක් වටිනා දේපළ හා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මනිපායී පොලීසිය සමත්ව තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ස්විස්ටර්ලන්තයේ රැකියාවක නිරතව සිට මෑතකදී යාපනය බලා පැමිණි පුද්ගලයෙකි.
පසුගිය 6 වනදා මෙම ඝාතනය සහ කොල්ලකෑම සිදුකර ඇති අතර, සැකකරුවන් විසින් නිවසින් වැඩි වශයෙන්ම පැහැරගෙන ඇත්තේ රන් භාණ්ඩ බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කොල්ලකන ලද රන් භාණ්ඩ අලෙවි කිරීමට උත්සාහ කිරීමේදී සැකකරුවන් පිළිබඳ වැදගත් තොරතුරු රැසක් මනිපායී පොලීසිය වෙත ලැබී තිබේ. එම තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් තෙලිප්පලෙයි ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් පවතින අතර, ඉදිරි විමර්ශන කටයුතු නිමවා ඔවුන්ව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මනිපායී පොලීසිය පියවර ගනිමින් සිටියි.









