කපිල කේ හීනටියන –
ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරුවන් වූ යාකුබ් කරීම්පූර් (Yaqoub Karimpour) සහ නසාර් බෙක්ර්සාදේ (Nasser Bekrzadeh) යන පුද්ගලයින් දෙදෙනාට ඉරානය විසින් ඊයේ (02) මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කරයි. ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඔවුන්ගේ දඬුවම් ස්ථිර කිරීමෙන් අනතුරුව නීතිමය ක්‍රියා පටිපාටිය අවසන් කර මෙම පියවර ගෙන තිබේ.
ඉරානයේ FARA NEWS ඒජන්සියේ වාර්තා කරන්නේ නඩු වාර්තාවලට අනුව, 2025 ජූලි මාසයේදී ඉරානයට එරෙහිව දියත් වූ දොළොස් දින අමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාර මාලාව අතරතුර කරීම්පූර් මොසාඩ් නිලධාරියෙකු සමඟ සක්‍රීයව සම්බන්ධ වී ඇති බවය. ඔහු ඉරානයේ සංවේදී ස්ථාන කිහිපයක් සහ නිශ්චිත පුද්ගලයින් පිළිබඳ රහස්‍ය තොරතුරු ක්‍රිප්ටෝ මුදල් වෙනුවෙන් ඊශ්‍රායල ඔත්තු සේවයට ලබා දී තිබේ. මීට අමතරව, ශබ්ද බෝම්බ (sound bombs) නිපදවන ආකාරය පිළිබඳව මොසාඩ් නිලධාරියාගෙන් පුහුණුව ලබා ඇති ඔහු, එවැනි බෝම්බ කිහිපයක් නිෂ්පාදනය කර නියමිත ස්ථානවලදී පුපුරුවා හැර ඇත. එම පිපිරීම්වල දර්ශන සහ වීඩියෝ ඔහු තම මෙහෙයුම්කරු වෙත යොමු කර තිබේ.
ඔහුගේ පාපොච්චාරණයන්ට අනුව, ඉරානය අස්ථාවර රටක් ලෙස පෙන්වීම සඳහා ඊශ්‍රායලයේ මූල්‍ය ආධාර ලබන “ඉරාන් ඉන්ටර්නැෂනල්” (Iran International) පුවත් නාලිකාව ඔස්සේ මෙම දර්ශන විකාශනය කර ඇති බවද එම ඉරාන නිල පුවත් සේවා වාර්තා කර තිබේ.
හෙතෙම කරීම්පූර් හමුදා කඳවුරු සහ ස්ථාපිතයන්හි ඡායාරූප ලබාගෙන ඇති අතර, කරාජ් සහ මෂාද් යන නගරවල ATM යන්ත්‍ර ගිනි තැබීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීම සඳහා පිරිසක් යොදවා තිබේ. ඉරාන ඉස්ලාමීය විප්ලවීය අධිකරණය විසින් ඔහු “දෙවියන්ට එරෙහිව යුද්ධ කිරීම” (Muharebeh) සහ ඊශ්‍රායලය සමඟ එක්ව ඔත්තු බැලීම හරහා “මිහිපිට දූෂණය පැතිරවීම” යන චෝදනාවලට වරදකරු කරන ලදී.
පසුගිය වසරේ ඇති වූ දොළොස් දින යුද්ධයෙන් පසුව, ඉරානය තුළ සිටින ඊශ්‍රායල නියෝජිතයන්ට මරණ දඬුවම ලබා දීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. පසුගිය ජුනි මාසයේ ඊශ්‍රායල යුද්ධය පැවති සමයේදී ආරක්ෂක අංශ විසින් මෙහෙයුම් කිහිපයක් හරහා මොසාඩ් නියෝජිතයින් පිරිසක් අත්අඩංගුවට ගත් අතර එහිදී විශාල පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණයක් සහ ඔත්තු බැලීමේ උපකරණ සොයා ගන්නා ලදී.
මීට අමතරව, ඊශ්‍රායල ඔත්තු සේවයට සම්බන්ධ මරාගෙන මැරෙන ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරන වැඩපොළවල් කිහිපයක් ද ඉරාන බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.
තවද, ඉරානය තුළ සිටින මොසාඩ් නියෝජිතයින් හඳුනා ගැනීම සඳහා විශේෂ මූලස්ථානයක් ද ටෙහෙරානය විසින් පිහිටුවා ඇත. මෑතකදී ශක්තිමත් කරන ලද ඔත්තු බැලීමේ නීතියට අනුව, එවැනි වැරදිවලට සම්බන්ධ වන්නන්ට මරණ දඬුවම සහ දේපළ රාජසන්තක කිරීමේ දඬුවම් නියම කළ හැකිය.
අනෙක් වරදකරු වන බෙක්ර්සාදේ, ඉරානය පුරා පිහිටි සංවේදී යටිතල පහසුකම් සහිත ස්ථාන රැසකට ගොස් ඇති බවට සාක්ෂි හමු වී ඇත. ඔහු මධ්‍යම ඉරානයේ පිහිටි නටාන්ස් (Natanz) යුරේනියම් පිරිපහදු මධ්‍යස්ථානය වැනි ස්ථානවල ඡායාරූප සහ දර්ශන මෙන්ම ආගමික විද්වතුන් සහ දේශීය නිලධාරීන් පිළිබඳ තොරතුරු ඊශ්‍රායල බුද්ධි අංශ වෙත ලබා දී තිබේ.







