ඉන්දීය තෙල් සමාගමට (IOC) අයත් ඉන්ධන රැගත් නෞකාවක් අද (29) දිනයේ දිවයිනට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ඒ. රාජකරුණා සඳහන් කළේ මෙම නෞකාව මගින් ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් මෙරටට රැගෙන එන බවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර මෑතකදී පැවැති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙම ඉන්ධන තොගය මෙරටට ලැබී තිබේ.
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සිදු වූ අතර, ඒ අනුව ලංකා IOC සමාගම වෙත මෙම ඉන්ධන නෞකාව එවීමට ඉන්දීය තෙල් සමාගම තීරණය කර ඇත.
එළඹෙන මාසය ඇතුළත තවත් ඉන්ධන නෞකා 10ක් දිවයිනට ළඟා වීමට නියමිත බවද වාර්තා වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අනුව, අප්‍රේල් මස මැද භාගය දක්වා ප්‍රමාණවත් ඩීසල් තොග පවතින අතර ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් තොග ජූනි මාසය දක්වා ප්‍රමාණවත් පරිදි සුරක්ෂිත කර තිබේ.
අප්‍රේල් උත්සව සමයේදී කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකැටිගේ සහතික වෙයි. මීට අමතරව දීර්ඝකාලීනව ඉන්ධන තොග රැස්කර ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය.
පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ කළමනාකාර අධ්යක්ෂවරයා සඳහන් කළේ, පිරිපහදු කළ ඉන්ධන තොග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මේ වන විට ගැටලුවක් නොමැති බවය.
කෙසේ වෙතත් බොරතෙල් සපයා ගැනීමේදී යම් බාධා මතු වූ බවත්, නියමිත පරිදි මෙරටට පැමිණීමට තිබූ නැව් දෙකක් නොපැමිණීම ඊට හේතු වූ බවත් ඔහු හෙළි කළේය.
ඊට විකල්පයක් ලෙස පිරිපහදු කළ ඉන්ධන තොග වැඩි වශයෙන් ඇණවුම් කර ඇති අතර, ඉන් එක් නෞකාවක් මේ වන විටත් කොළඹ වරායට පැමිණ නැංගුරම් ලා තිබේ.







