බාල ගල් අඟුරු භාවිතය හේතුවෙන් ඇති වන විදුලි උත්පාදනයේ අඩුව ජනතාවගෙන් අය කර ගැනීමට සූදානම් නැති බව බලධාරීන් පැවසුව ද, එය සූක්ෂ්ම ලෙස ජනතාව මතම පැටවෙන ආකාරය අද (10) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැහැදිලි කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“එවන් පපර්ජෝජියෝ, අයි.එම්.එෆ් ප්‍රධානියා ඊයේ පුවත්පත් සාකච්ඡාවේදී කියනවා බාල ගල් අඟුරු නිසා විදුලි බිල වැඩි වෙනවාද කියලා. වැදගත්ම ප්‍රශ්නය මේක තමයි. දැන් මේ කියන්නේ බාල ගල් අඟුරු නිසා විදුලි බල මණ්ඩලයේ පාඩුව වැඩි වුණාද කියන එකයි ප්‍රශ්නය. එතකොට අයි.එම්.එෆ් ප්‍රධානියා කියනවා ‘ඔව්… එහෙම වෙලා තියෙනවා. විදුලි බිල වැඩි වීමට මෙන්න මේ කරුණ බලපානවා’ කියලා.
ඒකට අදාළ අයි.එම්.එෆ් ලියවිල්ලත්, මේ ඇනෙක්ස් එකත් මම පාර්ලිමේන්තුවේ සභාගත කරනවා. අයි.එම්.එෆ් එකත් එක්ක ඔබලා එකඟ වෙච්ච පළමු ඡේදයේම තියෙන ‘ස්ටාෆ් ලෙවල් ඇග්‍රිමන්ට්’ එක එන්නේ එක කොන්දේසියක් මතයි. ඒ කොන්දේසිය තමයි ‘කොස්ට් රිකවරි ටැරිෆ්’ (Cost Recovery Tariff). ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ පාඩුවක් වුණා නම් එය පියවා ගත යුතුයි. ‘රිෆ්ලෙක්ට්’ නෙවෙයි ‘රිකවර්’ විය යුතුයි. ඒ කොන්දේසිය මත පමණයි ඩොලර් මිලියන 700 නිදහස් කරන්නේ කියලා එහි සඳහන් වෙනවා. මම එයත් සභාගත කරන්නම්.
සියයට 57 ක් වැඩි වෙන හැටි
සාමාන්‍යයෙන් ගල් අඟුරුවලින් ගිගාවොට් පැය 1381ක් උත්පාදනය කර ගැනීමටයි මේ අය බලාපොරොත්තු වුණේ. දැන් ඒ අය එය සංශෝධනය කරලා පෙරේදා (08 වැනිදා) ප්‍රකාශයට පත් කළා. දැන් ඒ අය බලාපොරොත්තු වෙන්නේ ගිගාවොට් පැය 1131.59ක් පමණයි. ඒ කියන්නේ එතැන ගිගාවොට් පැය 250ක වෙනසක් තියෙනවා. ගිගාවොට් පැයක් කියන්නේ යුනිට් මිලියන 250ක්.
දැන් බලන්න, ඔබලා ඩීසල් යුනිට් එකක් විකුණන්නේ රුපියල් 95කට. ගල් අඟුරුවලින් ගන්නේ රුපියල් 20කට. එතකොට දළ වශයෙන් රුපියල් 75ක වෙනසක් තියෙනවා. ඒ රුපියල් 75ක අගය, අර අඩු වූ යුනිට් ප්‍රමාණයෙන් වැඩි කළාම රුපියල් බිලියන 19ක මුදලක් එනවා.
විදුලි බිල වැඩි කිරීම සඳහා ඉල්ලන්නේ රුපියල් බිලියන 33ක්. ඒ කියන්නේ නැප්තා භාවිතා කරන්නේ නම් සියයට 25කින්ද, නැප්තා නැතිව ඩීසල් පාවිච්චි කරන්නේ නම් සියයට 30කින්ද විදුලි බිල වැඩි කරන්න කියලා ඉල්ලනවා. එතකොට බාල ගල් අඟුරු නිසා සිදු වූ මේ බිලියන 33ක පාඩුවෙන් බිලියන 19ක්ම බාල ගල් අඟුරු ප්‍රශ්නය නිසයි. ඒ කියන්නේ සමස්ත විදුලි බිල වැඩිවීමෙන් සියයට 57ක්ම සිදු වෙන්නේ බාල ගල් අඟුරු නිසයි. මේක කියන්නේ අපි නෙවෙයි, ලංකා විදුලි බල මණ්ඩලයේ එන්.එස්.ඕ (NSO) එකයි.
මම කියන්නේ මේකයි. අයි.එම්.එෆ් එක ඩොලර් මිලියන 700 ලබා දීමට එකඟ වුණේ එක් කොන්දේසියක් මතයි. මා එය සභාගත කරනවා. ඒ තමයි විදුලි බිල පිරිවැය පියවා ගත හැකි (Cost Reflective) ආකාරයට වැඩි කළ යුතුයි කියන එක. එය අවම වශයෙන් සියයට 25ක් හෝ සියයට 30ක් විය යුතුයි කියලා පී.යූ.සී.එස්.එල් (PUCSL) එකට දීලා තියෙනවා. ඒ අය ඒක තීරණය කරාවි.
නමුත් ඒ වැඩිවීමෙන් සියයට 57ක්ම බාල ගල් අඟුරු නිසා ඇති වූ රුපියල් බිලියන 19ක පාඩුව බව මම කියනවා. ඒක මම සභාගත කරනවා. ඉතින් ඕක තමයි ඇත්ත.” යැයි ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේය.







