ලලිත් චාමින්ද –
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 60 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට ක්ෂය රෝගය සඳහා ඖෂධ භාවිතා කරමින් පසුවන බව ගාල්ල බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.
මෙම රැඳවියන් වෙනුවෙන් මාස තුනක කාලයක් යන තෙක් සෑම ඉරිදා දිනකම ඖෂධ පෙති තුනක් බැගින් ලබා දීමට කටයුතු කරන බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පෙන්වා දෙයි.
විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම රැඳවියන් දිගින් දිගටම වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරනු ලබන අතර, දැනට මෙම රෝගී තත්ත්වය බන්ධනාගාරයේ සිටින වෙනත් රැඳවියන් අතරට බෝවීමේ අවදානමක් නොමැති බව ද එම කාර්යාලය අවධාරණය කරයි.
කෙසේ වුවද, ඉදිරියේදී එවැනි බෝවීමේ තත්ත්වයක් හෝ රෝගය උත්සන්න වීමක් වාර්තා වුවහොත්, වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත අදාළ රැඳවියන් වැලිසර ළය රෝහල වෙත යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද බන්ධනාගාර අධිකාරි කාර්යාලය සඳහන් කරයි.
දැනට පවතින තත්ත්වය අනුව ඖෂධ නිසි ලෙස භාවිතා කිරීමෙන් පසු මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බව පෙන්වා දෙන බන්ධනාගාර අධිකාරි කාර්යාලය, වැඩිදුරටත් අනාවරණය කළේ මත්කුඩු පානය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන රැඳවියන්ගෙන් සියයට අනූවකට (90%) පමණ මෙම ක්ෂය රෝගී තත්ත්වය පවතින බවයි.







