අධ්‍යක්ෂ මණ්ඩලය අතර බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති DSI සැම්සන් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ, එහි අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, අසංක රාජපක්ෂ, නෙලානි රාජපක්ෂ යන අය හා සමාගම් ලේකම්වරිය වන වරුණි ද සිල්වාට එරෙහිව එහි අධ්‍යක්ෂවරයෙක්ව සිටි සජිත රාජපක්ෂ විසින් ගොනුකර ඇති නඩුව ලබන නොවැම්බර් 20 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ වානිජ මහාධිකරණය පසුගිය 09 වැනිදා නියෝග කර ඇත.
මේ නඩුව එම සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සජිත් රාජපක්ෂව අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුවට පටහැනිව අධිකරණයට අපහාසයක් වන අයුරින් කටයුතු කිරීමට එරෙහිව උක්ත වග උත්තරකරුවන්ට එරෙහිව ගොනුකර තිබේ.
අදාළ අධ්‍යක්ෂවරු විසින් සජිත් රාජපක්ෂ DSI සැම්සන් සමූහයේ සමාගම් 3ක කළමනාකාර අධ්‍යක්ෂ ධූරයෙන්ද, සෙසු සමාගම් 5ක අධ්‍යක්ෂ ධූරයෙන්ද ඉවත් කර ඇති අතර ඔහු අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව අදාළ ධූරවල ඔහුව නැවත ස්ථාපනය කිරීමට ද අධිකරණය නියෝගකර තිබිණි.
සමාගම් ලේකම්වරිය වන අරුණි ද සිල්වා විසින් සෙසු අධ්‍යක්ෂවරුන්ගේ අනුදැනුම ඇතිව සජිත් විසින් කළමනාකාර අධ්‍යක්ෂ ධූර හා අධ්‍යක්ෂ ධූර දරණ ආයතනවල පැවැත්මට නෛතික බාධාවක් වන අයුරින් හා සජිත්ට බාධාවන ආකාරයට කටයුතු කරමින් හිතා මතා රාජකාරි පැහැර හැර ඇති බවද මේ නඩුව ගොනුකරමින් සජිත රාජපක්ෂ අධිකරණයට කරුණු දක්වා තිබේ.
වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සජිත් රාජපක්ෂට එරෙහිව එල්ලවූ චෝදනාවක් මත ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඒ අතරතුර කාලයේදී ඔහුව අදාළ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැරූ ධූරවලින් ඉවත් කිරීමට එම අධ්‍යක්ෂවරු කුමන්ත්‍රණය කරමින් කටයුතු කර ඇති බවද මේවනවිට අධිකරණයට වාර්තා කර ඇත.







