අසේල කුරුළුවංශ –
ස්නායූ රෝගීන් සඳහා වෛද්‍ය නිර්දේශ මත පමණක් ලබාදිය යුතු විශේෂ වේදනා නාශක පෙති වර්ගයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයින්ට වැඩි මිලට අළෙවි කළ රජයේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීමට දවුලගල පොලීසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා සතුව තිබූ මෝටර් රථයේ තිබී අදාළ මත්පෙති 301ක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ දවුලගල මාම්පිටිය ප්‍රාදේශීය රෝහලේ සේවය කරන 50 හැවිරිදි වෛද්‍යවරයෙකි. විශේෂත්වය වන්නේ මෙම රෝහල මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වීමයි.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා අදාළ පෙති වර්ගය මිලදී ගැනීමට සලස්වා ඇති අතර, එහිදී පෙති දෙකක් රුපියල් 500ක මුදලකට අළෙවි කරමින් සිටියදී වෛද්‍යවරයා කොටු කරගෙන තිබේ.
මීට මාස කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමෙන් මියගිය තරුණයෙකුගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වූයේ, අදාළ තරුණයා රජයේ රෝහලක වෛද්‍යවරයෙකුගෙන් මත්පෙති ලබාගෙන ඒවා විකුණා හෙරොයින් පානය කරන බවයි. එම මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණය වූ වෛද්‍යවරයා මොහුම දැයි යන්න පිළිබඳව දවුලගල පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලිස් අධිකාරි ඔමේෂ රන්දිකගේ උපදෙස් මත දවුලගල පොලිස් ස්ථානාධිපති රුක්මන් රත්නායක පොලිස් කොස්තාපල්වරුන් වන 777465 රුවන්, 95324 ලාල් යන නිලධාරීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.







