මායා උඩුවැරැල්ල
ගූගල් සමාගමේ හිටපු මෘදුකාංග ඉංජිනේරුවෙකු චීන සමාගම් දෙකක රහසිගතව සේවය කරමින් සිටියදී කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ වෙළඳ රහස් සොරකම් කර ඇති බවට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ (06) එනම් බදාදා දින ප්‍රකාශ කර තිබෙනවා.
චෝදනා එල්ල වුනු Linwei Ding නොහොත් Leon Ding, කැලිෆෝනියාහිදී චෝදනා හතරක් යටතේ අධිචෝදනා ලැබ අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම චීන ජාතිකයා රහසිගත ලිපිගොනු 500 කට අධික ප්‍රමාණයක් සොරකම් කර ඇති බව පැවසෙන අතර ඔහු ඒ සඳහා වරදකරු වුවහොත් වසර 10 ක සිරදඬුවමක් සහ එක් එක් චෝදනාව මත ඩොලර් 250,000 ක දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇති.
2019 වසරේ දී Leon Ding ගූගල් සමාගමේ සේවයට එක්ව ඇති අතර ඔහු එහි පරිගණක දත්ත මධ්‍යස්ථානවල යොදවා ඇති මෘදුකාංග සංවර්ධනය කිරීමට කටයුතු කර ඇති බවට සමාගම චෝදනා එල්ල කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුට ඔවුන්ගේ කෘත්‍රිම බුද්ධිය (AI) යෙදවීම පිළිබඳ සංවේදී තොරතුරු වෙත ප්‍රවේශ වීමට හැකිව තිබෙනවා.
2022 වසරේ මැයි මාසයේ සිට 2023 වසරේ මැයි මාසය දක්වා කාලය තුළ ඔහු පුද්ගලික Google Cloud ගිණුමකට රහස්‍ය තොරතුරු උඩුගත කර ඇති බවද සඳහන් වනවා.
කෘතිම බුද්ධිය (AI) යනු මිනිසුන් මෙන් සිතිය හැකි යන්ත්‍ර සෑදීමේ විද්‍යාවයි. එයට “බුද්ධිමත්” යැයි සැලෙකන දේවල් කළ හැකිය. AI තාක්‍ෂණයට මිනිසුන් මෙන් නොව විශාල දත්ත ප්‍රමාණයක් විවිධ ක්‍රම වලින් සැකසීමට හැකිය. AI හි ඉලක්කය වන්නේ මිනිසුන් මෙන් රටා හඳුනා ගැනීම, තීරණ ගැනීම සහ විනිශ්චය කිරීම වැනි දෑ යි.
කෙසේ වෙතත් මේ සිදුවීමත් සමඟ එක්සත් ජනපදයට අහිතකර ලෙස විදේශ විරුද්ධවාදීන් AI තාක්‍ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් එරට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.