මනම්පිටිය නිමල් ජයරත්න –
මහියංගන දිඹුලාගල ප්‍රධාන මාර්ගයේ බදනාගල ප්‍රදේශයේදී අද (01) අළුයම 1.00 ට පමණ වෑන් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය නාගස්වැව, අංක 198 ලිපිනයේ පදිංචිව සිටි රාජපක්ෂ දේවයලාගේ කරුණාවතී නැමැති 61 හැවිරිදි මවකි.
තුවාල ලැබූ 16 දෙනාගෙන් හය දෙනකු පොළොන්නරුව මහ රෝහලටත්, තවත් පිරිසක් දෙහිඅත්තකණ්ඩිය රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. තුවාල ලැබූ පිරිස දෙහිඅත්තකණ්ඩිය කදිරිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෝ වෙති.

වෙසක් සතිය නිමිත්තෙන් පොළොන්නරුවේ වන්දනාවේ ගොස් ආපසු දෙහිඅත්තකණ්ඩිය බලා පැමිණෙමින් සිටියදී මෙම පිරිස අනතුරට මුහුණ පා ඇති බව සිරිපුර පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ටි.එම්.ආර්.එස්. වන්නිනායක සඳහන් කළේය.
බදනාගල ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි වන අලියකු මාර්ගය හරහා ගමන් කිරීමේදී වේගයෙන් පැමිණි වෑන් රථය වන අලියාගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගේ උපදෙස් මත සිරිපුර පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ටි.එම්.ආර්.එස්. වන්නිනායක ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරති.







