ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා
එෂාමා කාරියකරවන –
සිද්ධාර්ථ කුමරු ඉපදෙන තැන අසන ගුරුවරියක් සහ එයට නිවැරදි පිළිතුර නොදන්නා බාලාංශ දරුවකුත් සම්බන්ධ වීඩියෝවක් සමාජජාලා වල වේගයෙන් පැතිරෙමින් තිබේ.
දරුවාගේ වැරදි පිළිතුරට ගුරුවරිය සිනාසෙනු ඇසේ.
මේ ප්‍රශ්නය පිළිබඳ කතාව මේ වීඩියෝවෙන් එපිටටත් ඇතැයි සිතෙයි.
මන්ද දරුවා හඬන්නේ මේ ප්‍රශ්නය අසන්නට කලින් බව පෙනේ.
ඔහු කලිනුත් ඒ උත්තරයම දී හෝ වෙනත් කරුණක් නිසා හෝ බියට පත්ව සිටින බව පෙනේ. සිද්ධාර්ථ කුමරා ඉපදුනේ “අර අර පැත්තෙ” කියූ කතාව පළමුවර කියූ පසු එය නැවත ගුරුවරිය අසන්නේ එය වීඩියෝ පටිගත කරගැනීමට යැයි සිද්ධිය හොඳින් බලන විට සිතේ.
පළමුවර මේ පිළිතුර දුන් විට ගුරුවරිය තරවටු කරන්නට ඇතැයි සිතෙන්නේ ඔහුගේ බියපත් ඇඬුම්බර මුහුණ පිළිතුරු දීමට ප්‍රථමයෙන්ද තිබු බැවිණි
එය එසේ වූවා හෝ නුවූවා මෙය වීඩියෝගත කර සමාජමාධ්‍යට ගුරුවරිය විසින් නිකුත් කළා හෝ නිකුත් කරන්නට දුන්නා හෝ වේවා මෙය බරපතළ ළමා අපයෝජනයකි.
මෙය මානසික අපයෝජනයකි. දරුවෙකුට වැඩිහිටියන් අතින් සිදුවන අපයෝජන පහත පරිදිය
- – කායික අපයෝජනය
- – මානසික අපයෝජනය
- – ලිංගික අපයෝජනය
- – වෙනස්කොට සැලකීමේ අපයෝජනය
මේ දරුවා මානසික වශයෙන් අනෙක් දරුවන් ඉදිරියේ අවප්‍රමාණ වීම ගුරුවරියට විනෝදය ගෙන දෙන්නක් වී ඇත. ඇයට ඒ අවස්ථාවේ ලැබුණු විනෝදය තවත් වැඩියෙන් ලැබීමට සමාජ මාධ්‍ය තුළ බෙදාහැරීම කරන්නේ එහෙයිනි
සත්‍ය වශයෙන්ම මෙය බාලාපරාධයෙකි. නීතිය ඉදිරියේ වරදකි. සදාචාරාත්මක වරදකි.
ගුරුවරු තම ගෝලයින් කෙරෙහි සම මෙත් සම කරුණා පෑ යුතුය.
සිසුවාගේ උපරිම යහපත පිණිස කටයුතු කළ යුතුය.
එහිදී සිසුවා යනු සියල්ල හරියටම නිවැරදිව දන්නා අයෙක් නොවේ. එසේ දන්නේ නම් සිසුන්ට ගුරුවරු අවශ්‍ය නැත.
සිසුන් ඉගෙන ගන්නා අය බැවින් ගුරුවරු සිටින්නේ ඔවුන්ට කියාදෙන්නය, මග වැරදුනු විට හරි මග පෙන්වා කියාදෙන්නටය. මෙතන සිදුවන්නේ සිසුවාට වරදක් වූ විට උපහාසයෙන් සිනාසීමය. සිනාසී එය වීඩියෝ කර සමාජජාලාවකට මුදා හැරීමය. එය ගුරුවරයෙකු තරම් නොවන්නකි.
මේ වයසේදී එවන් දෙයක් සිදුවීම , ඉතාම නරකය.
මේ වයස , ප්‍රශංසාවෙන්, ආදරයෙන්, ඉවසීමෙන් සිසුවාට මගපෙන්වීම කරන වයසය. ඔහුට වරදින විට නිවැරදි කර දිරිමත් කිරීම කළයුතු වයසය. පංතියේ සගයන් ඔහුට සිනාසුනද ශුරුවරිය ඔවුන් නිහඬ කරවා එසේ කිරීම වැරදි බව කියා දීය යුතු වයසය. එය එසේ වූවත් ගුරුවරිය පෙන්වන්නේ බාලාංශයේ දරුවකු තරම්වත් නොකළ යුතු හැසිරීමකි
මේ සමාජයේ ගුරුවරු බහුතරයක් වේගයෙන් පිරිහෙමින් සිටිති
පාසල් එන බව කියා පෙම්වතා සමග මූදුරැල්ල පෑගීමට ගිය සිසුවියකට අතිශය අපහාසාත්මව ප්‍රසිද්ධියේ ගැරහූ ගුරුවරු ගුරුවරියන් නිසා දැඩි පීඩනයට පත් 16 හැවිරිදි දැරියක් මා ඉදිරියේ හැඬුවාය
සාමාන්‍යපෙළ විෂයන් 10 ටම ඒ සමාර්ථ ලැබූ දැරියකට ” කීයටවත් වෙන්න බෑ. ප්‍රථිපලය වැරදිලා එන්න ඇත්තෙ” කියා ගැරහූ ගුරුතුමියක් ගැන කියමින් අඬා වැටුණු දියණිය මට මැවී පෙනේ
මේ අයුරින් සියගණනක් සිදුවීම් මට කිව හැකිය.
මේ රටේ ගුරු පරම්පරාවට අතහැරිය නොහැකි වගකීමක් හා යුතුකමක් ඇත
ඒ දැනුමෙන්ද විනයෙන්ද ගුණයෙන්ද මේ රටේ දරුපරම්පරාව පෝෂණය කර සමාජයට මුදා හැරීමයි.
එසේ කරන්නට ගුරුවරුන්ට
දනුම
විනය
ගුණය මනා කොට පිහිටා තිබිය යුතුය.
මේවා දකිද්දී බහුතර ගුරුවරු සිටින්නේ ඒ වටිනා අංග තුනෙන් බොහෝ ඈතය.
හොඳ ගුරුවරු සුලුතරයට කියමි.
මේ ගුරුවරුන්ට ඔබ ගුරුකම කියාදෙනු මැනවි. නැතිනම් මේ රටටත් දරුවන්ටත් රටකුත් නැත , අනාගතයකුත් නැත.