ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසය වෙනස් කළේය. ඒ ඉන්දියාවට එරෙහිව සිය පළමු විස්සයි 20 තරගාවලි ජයග්‍රහණය ලබා ගනිමිනි.
මීට ටික වෙලාවකට පෙර නිමා වූ තුන්වන විස්සයි 20 තරගයේ දී ඉන්දියානු ඉනිම ලකුණු 81කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. විශිෂ්ට පන්දු යැවීමක් හා පිටියේ අනර්ඝ පන්දු රැකීමක් දක්නට ලැබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග වාර්තාගත පන්දු යැවීමක නිරත විය. ඔහු පන්දු ඕවර 4 දි ලකුණු 9කට කඩුලු 4ක් ලබා ගත්තේය. දසුන් ශානක හා චාමික කරුණාරත්න කලකට අමතක නොවන උඩ පන්දු දෙකක් ලබා ගත්තේය.
ලකුණු 81 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 14යි පන්දු 03ක දී කඩුළු තුනක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තේය. ඒ තරගය කඩුළු 07කින් ජයග්‍රහණය කරමිනි.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට ඉන්දියානු නායකයා ගත් තීරණය පාරාවළල්ක් වී තිබිණි. නායක ශිකර් දවාන් ලකුණු නොලබා දැවී ගියේය. ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ කුල්දීප් යාදේව්ය. ඔහු පන්දු 28ක දී ලකුණු 23ක් ලබා ගත්තේය. ඉලක්කම් දෙකක ලකුණු ප්‍රමාණයක් පසු කර ගියේ ලකුණු 16ක් ලබා ගත් බුවනේෂ් කුමාර් සහ ලකුණු 14ක් ලබා ගත් ආරම්භක පිතිකරු රුතුරාජ් ගයික්වාඩ් ය.
ඉන්දියානු ඉනිම සුනු විසුණු කළේ වනිඳු හසරංගය. වනිදු සිය උපන්දිනය දා වාර්තාගත පන්දු යැවීමක නිරතවෙමින් පන්දු ඕවර 04 තුළ ලකුණු 09ක් පමණක් ලබා දෙමින් කඩුලු 04ක් ලබා ගත්තේය.
දුෂ්මන්ත චමිර අලංකාර පන්දු යැවීමක නිරත විය. ඔහු පන්දු ඕවර 4 තුළ ලකුණු 16ක් පමණක් ලබා දී කඩුල්ලක් ලබා ගත්තේය. බොහෝ විට ඔහුගේ පන්දු යැවීමේ වේගය පැයට කිලෝමීටර 140 ඉක්මවා ගියේය. නායක දසුන් ශානක පන්දු ඕවර 02ක් යවා ලකුණු 20කට කඩුළු 02ක් බිඳ හෙළුවේය. රමේෂ් මෙන්ඩිස් පන්දු ඕවර 02ක් යවා ලකුණු 13කට කඩුල්ලක් ලබා ගත්තේය. ඉන්දියානුවෝ පන්දු ඕවර 20 තුළ කඩුළු 8 ක් දැවී රැස් කරගත්තේ ලකුණු 81ක් පමණි.
ශ්‍රි ලංකා ඉනිම ආරම්භ කළේ අවිෂ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුකය. අවිශ්ක ලකුණු 12ක් ලබා සිටිය දී රාහුල් චහාර් පන්දු යවමින් ලබා ගත් මනරම් උඩපන්දුවකින් දැවී ගියේය. මිනෝද් භානුක පන්දු 27ක දී ලකුණු 18ක් ලබා ගෙන තිබෙද්දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව රාහුල්ට ගොදුරු විය. සධීර සමරවික්‍රම රාහුල් හමුවේ මුලුමනින්ම පැරදුනේය. රාහුල් තම පන්දු ඕවර 4 නිමාකළ අවසන් පන්දුව සධිර සමරවික්‍රමගේ මැද ඉන්න කුඩු කරමින් යැව්වේය.
ඉන්දියාව වෙනුවෙන් ලබා ගත් කඩුලු 03ම ලබා ගත්තේ රාහුල් චහාර්ය. ඔහු සටන අත් නොහැර මනරම් පන්දු යැවීමක නිරත විය. රාහුල් පන්දු ඕවර 4 තුළ ලකුණු 15කට කඩුළු 03ක් ලබා ගත්තේය.
සධීරගේ දැවීයෑමත් සමග පිටියට පැමිණියේ වනිඳු හසරංගය. වනිඳු හසංග සහ එක් අන්තයක එතෙක් ක්‍රීඩා කරමින් සිටි ධනංජය ද සිල්වා හා එක් වී තරගය නිමා කළේය. ධනංජය ද සිල්වා පන්දු 20ක දී ලකුණු 23ක් රැස් කළේය. ධනංජයගේ පිතිකරණයේ පරිනතිය යළිත් වරක් ප්‍රකට වූයේය.
වනිඳු පන්දු 9කදී ලකුණු 14ක් රැස් කළේය. තරගයේ වීරයා සම්මානය ඉන්දීය ඉනිම සුණු විසුණු කළ වනිඳු හසරංගට හිමි විය.
මෙතෙක් ඉන්දියාව සමග පන්දුවාර 20යි විස්ස තරගාවලි 05 ශ්‍රී ලංකාව ක්‍රිඩා කර තිබිණි. වර්ෂ 2009, 2017, 2018, 2020, පැවැත්වූ තරගාවලි හතරෙන් 03ක් ඉන්දියාව ජයග්‍රහණය කළේය. එක් තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් විය.
ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම 2021 තරගාවලිය ජයග්‍රහණය කළේය. ඒ පළමු තරගය අන්ත පරාජයක් ලබා තිබිය දී අනතුරු තරග දෙකම විශිෂ්ට ජයග්‍රහණය අත්කර ගනිමිනි.
මේ තරගාවලිය පුරාම දුටු වැදගත්ම අත්දැකීම වූයේ ක්‍රීඩාවේ තිබිය යුතු විනය සහ ක්‍රීඩා ශීලී බවය. ශිකර් දවාන් මෙන්ම දසුන් ශානක ද රටක ගෞරවය විනය මෙන්ම මිත්‍රශීලී මහත්මා ගුණය නායකත්වයෙන් ප්‍රකට කළේය.