කපිල කේ හීනටියන –
පසුගිය සතියේ වෙනිසියුලාවේ සිදු වූ විනාශකාරී ද්විත්ව භූමිකම්පාවෙන් දින හයකට පසුව, එළඹුන ඊයේ දිනයේ දී කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි කුඩා දරුවෙකු පණ පිටින් බේරා ගැනීමේ ආශ්චර්යමත් සිදුවීමක් ගැන වෙනිසියුලාවෙන් වාර්තා වුනේය. මේ දරුවා බේරාගත් බව වෙනිසියුලා බලධාරීන් මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
භූමිකම්පාවෙන් පසු ක්‍රියාත්මක වූ සහන සේවා මෙහෙයුම්වල හයවැනි දිනයේදී මෙලෙස පණපිටින් හමු වූ එකම දිවි ගලවා ගත් පුද්ගලයා මෙම දරුවා ය. වෙනිසියුලාවේ සහන සේවා කටයුතුවල නිරතව සිටින ජෝර්දාන හදිසි මුදාගැනීමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සුවිශේෂී මෙහෙයුම සිදු කර තිබිණි.
වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් (Delcy Rodriguez) ටෙලිග්‍රෑම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ලා ගුවයිරා (La Guaira) ප්‍රාන්තයේ පිහිටි ‘ලොස් කොරාලස් ගාර්ඩන් 1’ (Los Corales Garden 1) නැමැති කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර දින හයක් තිස්සේ සිරවී සිටි ක්ලීබර් මොරන් (Klieber Moran) නැමැති මෙම කුඩා දරුවා ජෝර්දාන සහන සේවකයින් විසින් සාර්ථකව පිටතට ගත් බවය. මේ ඒ අසිරිමත් අවස්ථාවය.
පසුගිය බදාදා වෙනිසියුලාව පුරා තත්පර කිහිපයක පරතරයක් ඇතිව රික්ටර් මාපකයේ 7.2 ක සහ 7.5 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පා දෙකක් සිදුවිය. එමඟින් විශාල ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම පොළවට සමතලා වූ අතර දහස් සංඛ්‍යාත පිරිසක් සුන්බුන් අතර සිරවී ගියහ.
වැඩබලන ජනාධිපතිනි රොඩ්‍රිගස් විසින් නිකුත් කළ පණිවිඩයේ මෙම දරුවාගේ වයස අවුරුදු 3ක් ලෙස දක්වා තිබුණද, ජාතික මණ්ඩලයේ සභාපති ජෝර්ජ් රොඩ්‍රිගස් (Jorge Rodriguez) ප්‍රකාශ කළේ දරුවා 2 හැවිරිදි වියේ පසුවන්නෙකු බවය. සුන්බුන් අතරින් මුදාගත් වහාම දරුවා හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

“සුන්බුන් අතර සිරවී සිටින මිනිසුන් තවදුරටත් පණපිටින් සොයා ගැනීමට හැකිවෙයි කියන බලාපොරොත්තුව අපි අත්නොහැර තබාගත යුතුයි. අද අලුයම 2 හැවිරිදි පිරිමි දරුවෙකු බේරා ගැනීමට හැකි වුණා. ඔහු මේ වන විට කරාකස් නුවර සෞඛ්‍ය මධ්‍යස්ථානයක අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවනවා” යැයි ජෝර්ජ් රොඩ්‍රිගස් රූපවාහිනී ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
පසුගිය ජුනි 24 වැනිදා සිදු වූ මෙම විනාශකාරී භූමිකම්පා මාලාව හේතුවෙන් ජුනි මස අවසානය වන විට වාර්තා වී ඇති නිල සංඛ්‍යාලේඛනවලට අනුව මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1,943 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වෙනිසියුලා ජාතික මණ්ඩලයේ සභාපති ජෝර්ජ් රොඩ්‍රිගස් සහ එරට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරන පරිදි රෝහල්ගත කර ඇති තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 10,571 කි.
මෙම ස්වභාවික විපතින් පසු අතුරුදහන් වූවන් සොයා ගැනීමේ විශේෂිත දත්ත පද්ධති සහ එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ අංශයේ (OCHA) දර්ශකවලට අනුව තවමත් පුද්ගලයින් 43,251 දෙනෙකු පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත. ඔවුන් අතුරුදහන් වූවන් ලෙස සලකනු ලබයි. කෙසේ වුවද, සුන්බුන් අතරින් මේ දක්වා පුද්ගලයින් 6,461 දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට සහන සේවා කණ්ඩායම් සමත්ව ඇති බැවින්, දේශීය ආරක්ෂක අංශ, මෙක්සිකානු විශේෂ මුදාගැනීමේ කණ්ඩායම් සහ ජාත්‍යන්තර සහන සේවකයින් එක්ව මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුකමින් ඇත.

භූමිකම්පාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම කඩා වැටුණු ගොඩනැගිලි 189 ක් ඇතුළුව දේපළ හානි රැසක් වාර්තා වී තිබේ., අවතැන් වූ හෝ දැඩි ලෙස පීඩාවට පත් වූ පුද්ගලයින් 15,866 දෙනෙකු සඳහා තාවකාලික නවාතැන් සැපයීමට ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) කටයුතු කරමින් සිටියි.







