කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට සභිකයෙක් තෝරා ගැනීම සඳහා මේ වනවිට රහස් ඡන්දයක් පැවැත්වෙමින් තිබේ. ඡන්ද විමසීම පැවැත්වෙමින් ඇත්තේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙනි.
ඒ කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා යොදා ගන්නේ රහස් ඡන්දයක් ද, විවෘත ඡන්දයක් ද යන්න පිළිබඳව සභාව තුළ ඇතිවූ බරපතල ගාලගෝට්ටියකින් අනතුරුව සභාව විසින්ම රහස් ඡන්දයක් ඒකමතිකව යෝජනා කිරීමෙන් අනතුරුවය.
මුලින්ම නගරාධිපති තෝරා ගැනීම සඳහා සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය විසින් විවෘත ඡන්දයක් යෝජනා කරද්දී ජාතික ජන බලවේගය විවෘත ඡන්දයක් ඉල්ලා සිටියේය.
මෙහිදී අදහස් දක්වමින් සාරංගිකා ජයසුන්දර සඳහන් කළේ, මෙය ඡන්ද පනත අනුව සියලු දේ සිදුකළ යුතුව ඇති බවය. අනතුරුව සභාව තුළින්ම රහස් ඡන්දයක් සඳහා කැමැත්ත ප්‍රකාශ විය.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.
එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.
ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයක් විසින් සියයට 50 ඉක්මවූ බහුතර සභික සංඛ්‍යාවක් ලබානොගැනීම නිසා කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් පත් කරගැනීම සඳහා ඡන්දයක් පැවැත්වෙන්නේය. ඉන් බහුතර සභික ධූර 59ක් හිමි කරගන්නා කණ්ඩායමේ අපේක්ෂකයා පුරපති ධූරයට සඳහා තේරී පත් වන්නේය.







