ක්‍රිකට් ආයතනයෙන් සංවිධානය කරනු ලබන අවුරුදු 15 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ මූලික තේරීම් සියල්ල කර තිබියදී පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති වරයාගේ මැදිහත් වීම මත වයස් කාල සීමාව අඩු කිරීම නිසා තරගාවලියම අවුලකට ඇද දමා ඇතැයි වාර්තා වේ.
සභාපතිවරයාගේ අත්තනෝමතික මැදිහත්වීමෙන් සිදුකරන වයස් සීමාව වෙනස් කිරීම නිසා තරගාවලියෙන් වයස වැඩි වී ඉවත් කිරීමේ අසාධාරණයට ලක්වන ක්‍රීඩකයන්ගේ දෙමව්පියන් පිරිසක් මේ ගැන අධ්‍යාපන ඇමතිවරයාට පැමිණිලි කිරීමට සූදානම්වන බව පාසල් ක්‍රිකට් ආරංචි මාර්ග කියයි.
මෙම තත්ත්වය තුළ දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවන් බෙහෙවින් අපහසුතාවට පත්ව ඇති අතර සියලුම තේරීම් යළි මුල සිට ආරම්භ කිරීමට සිදු වන බව වාර්තා වේ.
කොළඹ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති වන පාසල් සංගම් සභාපතිවරයා මෙම බලපෑම සිදු කොට ඇත්තේ තම විදුහලේම අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන තම පුතුන් දෙදෙනාට තේරීමේ අවස්ථාවක් නිර්මාණය කර දීමට බව ද එම කණ්ඩායම අධ්‍යාපන ඇමතිවරයා ඉදිරියේ සාක්ෂි සහිතව හෙළිදරව් කිරීමට සැරසෙන බව දැනගන්නට ඇත.
මෙම සභාපතිවරයා පසුගියදා සියලුම පාසල් ක්‍රිකට් තරග සජීවී ලෙස නොමිලේ ආවරණය කරන ලකුණු සටහන් කරුවන්ගේ සංගමයේ නිල වෙබ් අඩවියටද ආවරණ අවකාශය තහනම් කර තිබිණි.