දිනසේන රතුගමගේ –
මඩකලපුවේ විරෝධතාවයකට සහභාගී වී සිටියදී පොලිස් අත් අඩංගුවට පත් ව පසුව බන්ධනාගාර ගත කළ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හය දෙනා 7 දා ඇප මත නිදහස් කොට තිබේ.
එම සිසුන් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන එරාවුර් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණයෙන් ඇප නියම වූවත් ඔවුන්ගේ පදිංචිය හා අනන්‍යතාවය සනාථ කිරීමට නොහැකිවීම නිසා එම සිසුන් හය දෙනා 5 දා මඩකලපුව බන්ධනාගාරයට යවා ඇත.
මඩකලපුවේ මයිලතාමඩු, මාඩවන් ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විසින් ආරම්භ කොට ඇති විරෝධතාවට සහය දැක්වීම පිණිස යාපනය විශ්ව විද්‍යාලයේ සිට සිසුන් විශාල පිරිසක් බස් රථ වලින් එහි ගොස් ඇති අතර එම විරෝධතාවයේදී මෙම සිසුන් හය දෙනා මහා මාර්ගය අහුරා ජනතාවට හා වාහන වලට බාධා වන ආකාරයටත් නීතියට හා සාමයට බාධා එල්ල වන ආකාරයටත් කටයුතු කිරීම නිසා මඩකලපුව සන්දිවේලී පොලීසිය ඔවුන්ව අත් ආංගුවට ගෙන එරාවුර් අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.
සිසුන් වරද පිළිගැනීම නිසා ඔවුන් හය දෙනාට එරාවුර් වැඩ බලන මහේස්ත්‍රාත් අන්වර් සදාත් විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව නිදහස් කිරීමට නියෝග කළද සිසුන් හය දෙනාගේ පදිංචිය හා අනන්‍යතාවය සනාථ කිරිමට නොහැකි වීම නිසා ඔවුන්ව බන්ධනාගාර ගත කොට සිටියහ.