දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු හා ඔවුන් පැමිණි ටෝලර් යාත්‍රා දෙකක් අද ( 23 ) අලුයම යාපනය මුහුදු තීරයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව බලහත්කාරයෙන් ආක්‍රමණය කිරීමේ චෝදනාව මත අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ අනලතිව් සහ කෝවිලන් යන මුදු තීරයේදීය.
විදේශීය ධීවර යාත්‍රා මඟින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ මුර සංචාර වැඩි කරමින් අඛණ්ඩ මෙහෙයුම් සිදු කරනු ලබන බව පවසන නාවික හමුදාව එසේ අත් අඩංගුවට ගත් යාත්‍රා දෙක නාවික හමුදාව බාරයේ තබා ගෙන ඉන්දීය ධීවරයින් යාපනයේ ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දී ඇත.
තවද, විදේශීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපායට සිදුවන බලපෑම සහ සාගරික පරිසරයේ ජෛව විවිධත්වයට සිදුවන හානිය මැඩපැවැත්වීම උදෙසා, නාවික හමුදාව ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු .ලබන බවද නාවික හමුදාව ප්‍රකාශ කරයි.