දිනසේන රතුගමගේ –
යාපනයේ නිර්මාංශවේදීන්ගේ සංගමය විසින් තිරුණවේලී ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ළමා නිවාසයට ඊයේ (27) රාත්‍රීයේ පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් එම ළමා නිවාසයට දැඩි හානි සිදුව ඇති බවට කෝපායී පොලිසියට පැමිණිලි කොට තිබේ.
ළමා නිවාසයේ පාලකයා පොලිසියට පවසා ඇත්තේ එහි සේවය කළ පුද්ගලයෙකුට ළමා ලිංගික අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමේන් පසුව යාපනය අධිකරණයේ නියෝගයක් මත ඔහුව සේවයෙන් ඉවත් කළ බවය.
ප්‍රහාරය හේතුවේන් ළමා නිවාසයේ ගොඩනැගිලි හා උපකරණවලට විශාල අලාභයක් සිදුව ඇති බව පවසන ළමා නිවාසයේ පාලකවරයා ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට ළමා නිවාසය තුළ ළමයින් හා සේවක සේවිකාවන් ඇතුලු 58 දෙනෙකු සිටි බවද ප්‍රකාශ කරයි.
එම සේවකයා සේවයෙන් ඉවත් කළ දිනම රාත්‍රියේ ළමා නිවාසයට ප්‍රහාරයක් එල්ල වීම නිසා මේ සම්බන්ධයෙන් එම පුද්ගලයා ගැන සාධාරණ සැකයක් ඇති බවද ළමා නිවාසයේ පාලකයා පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
ඒ අනුව කෝපායී පොලිසියේ නිලධාරීන් පිරිසක් සැකකරු සොයා ගොස් ඇතත් ඔහු නවාතැන් ගෙන සිටි ස්ථානයෙන් ඔහු පලාගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
කෝපායී පොලිසිය තිරුණවේලී ළමා නිවාසයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







