මේ අවස්ථාවේ දී ඉන්ධන සහනාධාරයක් ලබා දීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි නිසා හෙට මධ්‍යම රාත්‍රියේ සිට සාධාරණ බස් ගාස්තු සංශෝධනයකට යෑමේ වැඩි ඉඩක් ඇති බව අමාත්‍ය දිළුම් අමුණුගම පැවසුවේය.
හෙට දිනයේ දී කැබිනට් මණ්ඩලය වෙත බස්ගාස්තු සංශෝධන යෝජනාව ඉදිරිපත් කර ඉන් අනතුරුව යම් තීන්දුවක් ගන්නා බවත් බොහෝ විට අවම බස් ගාස්තුව බස් සංගම් ඉල්ලන රුපියල් 30 නොව රුපියල් 19ක් හෝ 20ක් විය හැකි බවත් ඇමතිවරයා පැවසුවේය.
බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යය අමතමින් අමාත්‍යවරයා මේ බව කීවේය. එම සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමින් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කීවේ ඇමතිවරයා සාධාරණ බස් ගාස්තු සංශෝධනයක් සඳහා ඉඟි කළ බවය.
“ අප හිතූමතේ බස් ගාස්තු වැඩි කරන්න ඉල්ලුවෙ නෑ. අපි යම් නියාමනයකට යටත් වෙලා ජාතික ප්‍රතිපත්තියේ යම් රාමුවකට යටත් වෙලා තමයි ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා ඩීසල් සහනාධාරයක් දෙන්න බැරිනම් ජාතික ප්‍රතිපත්තියේ ප්‍රතිපාදන අනුව, මිල සූත්‍රයකට අනුව මේ මිල සංශෝධනයට යන්නයි ඉල්ලන්නෙ.“
ජාතික ප්‍රතිපත්තිය අනුව බස්ගාස්තු සංශෝධනයකට හෙට මධ්‍යම රාත්‍රියේ සිට යන බවට ඇමතිවරයා ඉඟිකළේ යැයි ද ගැමුණු විජේරත්න කීවේය.