හෙට (24) දිනයේ පාර්ලිමේන්තු පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම විපක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.
රට මුහුණ පා ඇති අර්බුද ජය ගැනීමට කිසිම වැඩපිළිවෙලක් නැතිව පාර්ලිමේන්තුව පැවැත්වීමෙන් සිදුවන්නේ මහජනතාව මත තවත් බර පැටවීමක් බව විපක්ෂය සඳහන් කරයි.
ජන පදනමක් නැති අගමැතිවරයෙක් හා කිසිදු වැඩපිළිවෙළක් සැලසුමක් නැති ජනාධිපතිවරයෙක් යටතේ තව දුරටත් රට ඉදිරියට ගෙන යා නොහැකි බව පෙන්වන විපක්ෂය අද ඉතිරිව ඇති එකම විසඳුම පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර ආණ්ඩුවක් ඇති කරගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම බව සඳහන් කරයි.
සතියක කාලයක් සඳහා පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය පසුගිය 21 දා තිරණය කරන ලදී.
ඔවුන්ගේ එම තීරණය වෙනස් කර සිකුරාදා දිනයේ පාර්ලමේන්තුවට පැමිණෙන ලෙස අගමැතිවරයා ඊයේ (22) විපක්ෂයට ආරාධනා කර සිටියේය.
අගමැතිවරයාගේ මෙම ආරාධනය පිළිගෙන සිකුරාදා පාර්ලිමේන්තුව විවෘත කළහොත් ඊට සහභාගී වනවාදැයි ලංකාසර කළ විමසුමක දී ඉහත පක්ෂ කියා සිටියේ තම පක්ෂ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදු නොවන බවය.
මේ සම්බන්ධව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගෙන් ලංකාසර කළ විමසුමක දී ඔහු කියා සිටියේ ඉන්ධන නැති බව පවසමින් පාර්ලිමේන්තුව සතියක කාලයක් කල් තබා තිබිය දී අගමැතිවරයා විපක්ෂයට පාර්ලිමේන්තු පැමිණෙන්නයි කියමින් රටට විහිළු සපයන බවය.
විපක්ෂයට පාර්ලිමේන්තු පැමිණෙන ලෙස ආරාධනා කරමින් අගමැතිවරයා ජනතාව රැවටීමට කටයුතු කරන බවත් අගමැතිවරයාගේ එම ඉල්ලීම තම පක්ෂය කිසි ලෙසකින්වත් පිලිගැනීමට සූදානම් නැති බවත් ඔහු වැඩිදුරටත් කීවේය.