හෙට දිනයේ ජනාධිපති සමාව ලැබ නිදහස් කිරීමට නියමිත සිරකරුවන්ගේ ලැයිස්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතාගේ නම නොමැති බව ආරංචි මාර්ග පවසයි.
74 වන නිදහස් දින සමරුව වෙනුවෙන් හෙට දිනයේ දී සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති සමාව ලැබ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා තිබුණි.
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ රන්ජන් රාමනායක මහතා බැලීමට බන්ධනාගාරයට ගොස් පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙයි කියා තමන් දැඩිව විශ්වාස කරන බවයි.
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඒ පිළිබඳ මෙසේ ද සඳහන් කර තිබුණි.
“කලාකරුවෙක් විදියට කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් එතුමා ඉස්ට කරමින් සිටියා. එතුමා ඉෂ්ට කරපු පොදුජන සේවාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් එතුමාගේ දීමනා, වැටුප්, වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ සියල්ලක්ම පොදුජන සේවාව උදෙසා කැප කරපු නායකයෙක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ දී එතුමාට පූර්ණ නිදහස ලැබෙයි කියලා.
ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මනුෂ්‍යත්වයට මුල් තැන දීලා, මානව හිතවාදියාගේ පූර්ණ නිදහස වෙනුවෙන් හෙට දින එතුමාව නිදහස් කරන්න කියා. මේ යෝජනාව මම කරන්නේ මිනිස් කම වෙනුවෙන්.” යැයි විපක්ෂ නායකවරයා පැවසීය.







