දැන් කුඩු ටොන් ගණන් හසුවන්නේ දකුණු මුහුදු තීරයෙනි. ඒ නිසා පන්නල හිටපු සජබ ප්‍රාදේශීය සභා අපේක්ෂක සහ සඳලංකාව සජබ ආසන සංවිධායක වසන්ත ජයකොඩිගේ කෝටි 4000ක කුඩු සීන් එක වැඩි දෙනෙකුට ටිකක් අමුතුය. කුඩු ගැන කියැවෙන්නේ දකුණේ නම්ය. ප්‍රසිද්ධ දකුණේ ගම්ය. එහෙත් වසන්ත ජයකොඩි පන්නලය.
දකුණ මුහුදේ දී අත් අඩංගුවට ගන්නා කුඩුවලට පන්නල වසන්ත ජයකොඩි අත් අඩංගුවට ගන්නේ යාත්‍රාවේ සිට අත් අඩංගුවට ගත් ධීවරයින්ගේ ප්‍රකාශ ඔස්සේය. ධීවරයින්ට අනුව අතට ලක්ෂ 25ක් ලබා දී යාත්‍රාවට ඉන්ධන ගසා වතුර පුරවා දී අඩුම කුඩුම සරි කර දෙන්නේ වසන්ත ජයකොඩිය. අත් අඩංගුවට ගත් යාත්‍රාව හම්බන්තොට වරායට රැගෙන ආවද යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ හලාවතිනි. ගැඹුරු මුහුදේ දී බඩු ලැබී ඇත්තේ ඉරාණ නෞකාවකිනි. පකිස්ථාන ජාවාරම්කරුවන් ඉරාණ ප්‍රවාහකයින් හරහා මේ කුඩු තොගය ගෙනත් ඇත්තේ උනාකූරුවේ ශාන්තට බව කියැවෙන්නේය. ඒ අතර සිටිනා පුරුක වසන්ත ජයකොඩි බවට දැන් තොරතුරු ලැබී ඇත්තේය.
දැන් අපට අමතක වී ගියත් පන්නල යනු අතීතයේ මේ රටේ කුඩු හබ් එකය. වසන්ත ජයකොඩි වැන්නවුන් පාතාලය සහ දේශපාලනය සමෝධාන කරගෙන පන්නල කුඩු ව්‍යාපෘති තවමත් කරගෙන යන බව දැන් පැහැදිලිය.
කුඩු ජාවාරමේ ආසියාතික වෙනස්වීම –
ඉතිහාසයේ වැඩි වශයෙන් මෙරටට මත්කුඩු ගෙන එන්නේ හලාවත මුහුදු තිරය ඔස්සේය. හලාවත තොඩුවාව යනු එකල මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොලකි. තොඩුවාව කුඩු තොටුපලක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් ලෝකයේ ආසියානු ආධිපත්‍ය ඇෆ්ගන් ජාවාරම්කරුවන්ගෙන් ඉන්දියානු ජාවාරම්කරුවන් අතට හුවමාරු වීමත් සමගය.
එදා මත්කුඩු කිලෝ මීටර් දහස් ගණනක් ට්‍රක්රථ සහ වෙනත් ප්‍රවාහන මාධ්‍ය මගින් ඉන්දියාවේ තූත්තුකුඩියට රැගෙනවිත් එහි සිට හලාවතට ගෙන එන්නේ බෝට්ටු මගිනි. එදා එක් වරකට ගෙන එන්නේ කිලෝ දහය පහලොවේ ප්‍රමාණයන්ය. ඉඳහිට කිලෝ තිහ හතලිහ ද ආවේය. සියල්ලක්ම සිදුවූයේ ධීවර බෝට්ටු මගිනි. ඊටම අනුගත වූ ධීවර කණ්ඩායමක් ද එකල සිටියේය.
මත්කුඩු ජාවාරම පකිස්තානුවන් සියතට ගැනීමත් සමග දැන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ඇතුළුවන්නේ දකුණු මුහුදු තීරය ආශ්‍රිතවය. එය එසේ වූවත් තවමත් හලාවත මුහුදු තීරය ඔස්සේ ඉන්දියාව සමග කෙරෙන මත්කුඩු ජාවාරම් ද යම් පමණකට සිද්ධ වන්නේය. එහෙත් ඒ ජාවාරම් රටා වඩාත් අප්‍රකටය.
අතීතයේ හොඳම මත්කුඩු ජාවාරම් කරුවන් පන්නලින්
පොලිස් තොරතුරු විශ්ලේෂණයේදී පෙනී යන කරුණක් වන්නේ රටටම මත්කුඩු බෙදූ මත්කුඩු ජාවාරම්කරුවන් වැඩි දෙනෙකුම වයඹ පළාතේ පන්නල ආශ්‍රිතව ජීවත්වූවන් බවය. මෙරට මත්කුඩු ජාවාරම් කරුවන්ගේ පාරාදීසයක් කරන්නට මුල්වූ ආරම්භක මත්කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනාද ජීවත් වී ඇත්තේ පන්නලය.
එම ජාවාරම්කරුවන් අතර රියාල්, පවුමි, මකීම්, හෆීල්, සියාම්, යන නම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේද ලියැවී ඇත්තේය. මකීම්, පවුමි දැන් රටේත් නැත. රියාල් එකල මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇත්තේ මහා පරිමාණයෙනි. එකල වැඩිම මත්කුඩු තොග බෙදාහැර ඇතැයි පැවසෙන්නේ රියාල්ය. ඔහු දැන් ලංකාවේත් නැත. ඉන්නා තැනක් පොලිසිය දන්නේත් නැත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර එකළ ඉහළින්ම සිටි මකීම් සිය අඹුදරුවන් සමග දැන් සිටින්නේ යැයි සඳහන් වන්නේ එංගලන්තයේය. පවුමිද සිය අඹුදරුවන් සමගසිටින්නේ යුරෝපීය රටකය. හෆීල් වරක් ඉන්දියාවේදී මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට පත්ව සිරදඩුවම් විඳ මෙරටට පැමිණ ඇති අතර ඔහුට කුමක් සිදුවීදැයි තවමත් කිසිවෙකුත් දන්නේ නැත.
මේ අයට අමතරව පළාත් සභාව මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලනඥයෙකුගේ නමක්ද එකී නම් ගොන්න අතර ඉහළින්ම ලියැවී ඇත්තේය. මේ වන විට එම දේශපාලනඥයා ජීවතුන් අතර නැත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉතිහාසගත තොරතුරුවල සදහන් වන්නේ එම දේශපාලනඥයා මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටි බවය.
ඊට අමතතරව එකල පන්නල පැත්තේ ඇගළුම්ක්මහල් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙක්ද මහා පරිමාණයේ හෙරොයින් ඡාවාරමේ නිරතව සිටි බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මුල්වකවානුවේ සේවයේ නිරතව සිටි නිලධාරීහු පවසති. එවක ඒ එක් ඇගළුම් කම්හලක් එකළ පිහිටා තිබුනේ පන්නල කාර්මික ජනපදයේය.
වොඩ් ප්ලේස් සියාම්ගේ ගමත් පන්නල
මේ සියළු මත්කුඩු ජාවාරම්කරුවන්ට වඩා රටේ වඩාත් කතාබහකට ලක්වුණු ජාවාරම්කරුවෙක් වන්නේ සියාම්ය. බොහෝ පිරිසක් ඔහු හදුන්නේ වෝඩ් ප්ලේස් සියාම් යැයි කීවිටය. ඔහුද මත්කුඩු ජාවාරමට අතපොත් තබන්නේ පන්නලිනි.
පන්නල ඇලබඩගම පදිංචිකරුවෙක් වන මොහොමඩ් සියාම්ගේ මව්පියන් ඇලබඩගම පැත්තේ සිටි වැදගත් මිනිස්සුය. ලකුණකින් දෙකකින් විශ්ව විද්‍යාල වරම් අහිමි වීමෙන් පසු සියාම් ව්‍යාපාර ලෝකයට අතපොත් තබන්නේ ඉන්දියාවට ගොස් රෙදිපිළි මෙරටට ගෙනවිත් අලෙවි කරමිනි. ඊට අමතරව ඔහු බීඩි කොළද ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආවේය
ඒ අතර තුර ඔහු රෙදිපිළි සහ බීඩි කොල අස්සේ සගවමින් රත්තරන් මෙරටට ගෙන ඒමේ ජාවාරමක හවුල්කරුවෙක් බවටද පත්විය. හෙරොයින් ජාවාරමට ඔහු අතපොත් තබන්නේ රත්තරන් ජාවරමට වඩා වැඩි ලාබයක් හෙරොයින් වලින් ලැබෙන්න වූ බැවිනි. ජවාරම ජයට සිදුවන විට ඔහු පන්නලින් කොළඹ 07 වෝඩ් පෙදෙසෙට විතැන් වන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික චරිතයක් ආරූඪකරගනිමිනිත
මැති ඇමතිවරු ඇතුළු විවිධාකාර දේශපාලනඥයන්ද ඔහු ළගින් ඇසුරු කරන්නට ගත්තේය. මැතිවරණ වකවානුවලදී දේශපාලනඥයන්ගේ ඡන්ද ව්‍යාපාර සඳහාද අතපය දිගහැර වියපැහැදම්ද කළේය. එහෙත් ඔහුගේ අවසානය සනිටුහන් වන්නේ 2003 වසරේදීය. ඒ හොරොයින් තොගයක් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඔහු සිය බිරිද සමග කොටුවීමත් සමගිනි.
එදා වෝඩ් පෙදෙසේ සුවිසල් නිවසේ තැන තැන තිබී කිලෝ 23 වැඩි හෙරොයින් තොගයක්ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සොයා ගත්තේය. සියාම් සහ බිරිද දැන් සිටින්නේ මරණිය දණ්ඩනයට නියම වී සිටින සිරකරුවන් ලෙසිණි.
පන්නල කුඩු කතාව අලුත් කරන්නේ හිටපු සඳලංකාව සජබ ආසන සංවිධායක වසන්ත ජයකොඩි සමගය. අතීතය අප හිතනවාට වඩා තදින් වර්තමානය සමග බැඳී ඇති බවත් මේ ජාලය අප හිතනවාට වඩා තදට රට පුරා පැතිරී ඇති බවත් වසන්ත ජයකොඩි සාක්ෂි සපයන්නේය.
ශුද්ධවන්ත එන්පීපී පෑලියගොඩ නාගරික මන්ත්‍රීගේ වැඩ බලන විදුහල්පති සැමියා කිලෝ ප්‍රමාණයෙන් මැනෙන මත්කුඩු සමග අත් අඩංගුවේය. ඇයගේ පුතා මත්කුඩු ග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කරන්නට ගොස් අසුවී අත් අඩංගුවේය. එන්පීපී සංවිධායකවරු ද මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධබවට අනාවරණය වෙමින් ඇත. ඔවුන් දැන් අත් අඩංගුවේය.
අප දකින්නේ සමාජ දේශපාලන, සහ වෘත්තීය භේද නොතකා මේ කාලකණ්ණි මත් කුඩු ජාලය පැතිරෙමින් ඇති ආකාරය ය.







