2019 වසරේ අප්‍රියෙල් මස 21 වැනිදා දි සිදුවූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් එවකට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිස අතින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට අද (12) ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව හිටපු ජනාධිපති සිරිසේනට රුපියල් මිලියන 100ක වන්දියක්ද, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට සහ සහ රාජ්‍ය බුදධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන රුපියල් මිලියන 75ක් සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට රුපියල් මිලියන 50 බැගින් ගෙවන ලෙස නියෝග කළ ශ්‍රෙෂ්ඨාධිකරණය හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට රුපියල් මිලියන 10ක වන්දියක් ගෙවිය යුතු බවට නියෝග කළේය.
එවකට රාජ්‍ය ආරක්ෂාව බාරව සිටි ප්‍රධානීන් ලෙස ඔවුන් ඉස්ලාම් අන්තවාදීන්ගේ මෙහෙයවීමෙන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට පූර්ව තොරතුරු ලැබී තිබියදීත් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට සහ එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටුයතු නොකිරීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකණය ඉදිරියේ ගොනු වූ පෙත්සම් 12ක් සලකා බැලූ අධිකරණය අද මෙම තීන්දුව ලබා දුන්නේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මෙහිදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විශේෂ විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටද එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.