රට දැඩි ආර්ථික අර්බුදයක ගිලී දිළිඳු ජනතාවගේ සමෘද්ධි සහනාධාරය පවා ප්‍රමාද වන බවට රජයම අනතුරු අඟවා ඇති පසුබිමක් තුළ එලඹෙන නිදහස් දිනය සැමරීම වෙනුවෙන් රජය රුපියල් කෝටි 20ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇත. 75 වැනි නිදහස් සමරු දින වෙනුවෙන් පෙබරවාරි මස 04 වැනිදා ට යෙදෙන සැමරුම් වෙනුවෙන් මෙලෙස මේ වනවිට රුපියල් මිලියන 200ක් වෙන් කර ඇතැයි රාජ්‍ය පරිපාලන , පළාත් සභා සහ ස්වදේශ කටයුතු ආමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න “ද මෝනිං“ පුවත් පතට ප්‍රකාශ කර ඇත.
ඔහු එම පුවත්පතට පවසා ඇත්තේ මේ වනවිට භාන්ඩාගාරය විසින් මෙම මුදල් වෙන් කර ඇති අතර උපරිම ලෙස වියදම් කප්පාදු කොට නිදහස් උත්සවය සැමරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවය.
කෙසේ වුවද ලංකාසරට වාර්තා වූයේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පවා වැඩ සටහන් ගණනාවක් සහිතව රුපියල් මිලියන 500ක (කෝටි 50) කට ආසන්න ඇස්තමේන්තුවක් මුලින් සකස් වී ඇති අතර මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත එය මේ වනවිට රුපියල් මිලියන 200ක් දක්වා අඩුව ඇති බවය.
“නමෝ නමෝ මාතා – සියවසට පියවරක් “ යන තේමාව යටතේ 75 වනි නිදහස් දින සැමරුම පැවැත්වීම පිළිබඳව මේ වනවිට යෝජනා වී ඇති අතර මේ සම්බන්ධ කැබිනට් අනුමැතිය පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබී ඇති බවද සඳහන් වේ. දින හතරක පෙරහුරුවද සමඟ සැමරුම සංවිධානය වන අතර මේ වනවිට ඊට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බව සඳහන් වේ.
විදේශ සංචිත ක්ෂය වීම මත ඉන්ධන හිගය ඇතුළු අර්බුද රැසක් මතුව පවතින පසුබිමක සහ භාණ්ඩාගාරය මුල්‍ය අර්බුදයක සිටින පසුබිමක් තුළ මෙම සැමරුම සඳහා රුපියල් කෝටි 20ක් වැය කිරීමද නිශ්ඵල කරුණක් බවත් ඒ වෙනුවට සරල චාම් උත්සවයක් පැවැත්වීම වඩාත් උචිත බවත් රජයේ උසස් නිලධාරීන්ගේ ද අදහස වී තිබේ.