දිනසේන රතුගමගේ –
වවුනියාවේ නෙඩුන්කේණී පට්ටිකුඩීඉරිප්පු ප්‍රදේශයේදී හිටපු එල්.ටී. ටී.ඊ. සාමාජිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නෙඩුන්කේණී පොලීසිය විසින් තවත් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඊයේ ( 22 ) අත් අඩංගුවට ගෙන තිබේ.
මේ දෙදෙනා අතර ඉඩමක් සම්බන්ධයෙන් කාලයක සිට ආරවුලක් පැවති තිබේ. වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු එල්.ටී.ටී. ඊ. සාමාජිකයා වසර ගණනාවක් එම සංවිධානයේ සිට පසුව රජයේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල යටතේ පුනරුත්ථාපනය වූ අයෙකු බවට තොරතුරු හෙළි වී තිබේ.
ඔහුට එරෙහිව උතුරේ අධිකරණ වල නඩු පහක් විභාග වෙමින් පවතින බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
මියගිය අලගයියා මහේස්වරන් නැමති 58 හැවිරිදි පුද්ගලයාද එල්.ටී.ටී.. ඊ. සංවිධානයේ වසර එකහමාරක් පමණ සිට යුද්ධය අවසන් වීමට පෙර එම සංවිධානයෙන් ඉවත් වු අයෙකි.
සිද්ධිය වූ දිනයේදී දෙදෙනා අතර ඉඩමේ මායිම සම්බන්ධයෙන් බහින් බස් වීමක් සිදුව ඇති අතර එහිදී මියගිය පුද්ගලයා සවලක් රැගෙන අනෙක් පුද්ගලයාට පහර දීමට දිව ගිය අවස්ථාවේදී ඔහු එක් වරම නිවසට දිව ගොස් නිවසේ සඟවා තිබූ තුවක්කුව රැගෙන විත් වෙඩි තබා ඇත.
මෙම ඝාතනයට යොදාගත් තුවක්කුවද නෙඩුන්කේණී පොලීසිය විසින් සොයා ගෙන ඇත.
නෙඩුන්කේණී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.