අන්තර්ජාලයට මුදාහල වීඩියෝවක් සම්බන්ධයෙන් රත්වත්තේ ඇමතිවරයාගේ සහෝදරයෙක් තමන් වහන්සේටත් මරණීය තර්ජන එල්ල කළ බව සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ පවසති.
මේ පවුලේ අයගේ හැසිරීම පිළිබඳව තමන්වහන්සේ පුදුම නොවන බවත් සිරකරුවන්ට මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව ඒ අතීත අත්දැකීම් සම්බන්ධව කුකුසක් පහළවන්නේ නැති බවත් පවසන උන්වහන්සේ විකුණන මැණිකක් විකුණාගෙන පාදගන්නා ඉල්ලමක් පාදාගෙන හැකි ඉක්මනින් මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉවත්වන ලෙස ඉල්ලා සිටී
මාධ්‍ය වෙත කළ ප්‍රකාශයේ දී උන්වහන්සේ මෙසේ ද කියති.
“ලොහාන් රත්වත්ත ගේ පවුලේ උදවිය හරිම දක්ෂයි මරණ තර්ජනය කරන්න. ඔවුන් භික්ෂූන් වහන්සේලාටත් මරණ තර්ජනය කරන්න දක්ෂයි. තර්ජනය කරන්න දක්ෂයි.“
“පහුගිය දවස්වල එක්තරා සිදුවීමක දී සමාජ මාධ්‍ය ජාලයට මුදා හල වීඩියෝවක් සම්බන්ධව අපටත් ඔය පවුලේ පුද්ගලයෙක් තර්ජනාත්මක විදිහට ආමන්ත්‍රණය කළා. “
“ඉන් අපට පැහැදිලි වෙනවා බන්ධනාගාර සිදුවීමේදී මේ ඇමතිවරයා කොහොම හැසිරෙන්න ඇති ද කියන කාරණාව. භික්ෂුවකට එහෙම කරන්න පුලුවන් නම් සිරකරුවන් පිළිබඳ ඔවුනගේ හැසිරීම ගැන අපට දෙගිඩියාවක් ඇත්තෙ නෑ.“
“ අපි එකතුවෙලා බොහොම අමරුවෙන් හදපු ආණ්ඩුවෙ කීර්ති නාමය විනාශ කරන්නෙ නැතිව අවම හෝ විලි ලජ්ජාවක් තිබෙනවා නම් කරුණාකරලා ගන්න මැණික් ගලක් අරගෙන විකුණනවා නම් කරන විකිණීමක් කරගෙන පාදගන්න ඉල්ලමක් පාදගෙන ඒ ඇමතිකමිනුත් අයින් වෙන්න. ඒක නම් ගෞරවාන්විතයි.
මැඩිල්ලේ හිමියෝ වැඩිදුරටත් කීහ.