ශ්‍රියානි විජේසිංහ –
අමහ පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් සහල් සඟවා මිල ඉහළ නැංවීම වැළැක්වීමට පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
රට තුළ අවශ්‍ය තරම් සහල් තොග තිබිය දී ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් විසින් කෘත්‍රිමව නිර්මාණය කිරීමට උත්සාහ දරන සහල් හිඟය මෙම උත්සව සමයේ සහල් මිල ඉහළ නැංවීම සදහා යොදන ලද උපක්‍රමයක් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරින්ට වුවත් ඔවුන්ට ද පරීක්ෂා කිරීමට හා නඩු පැවරීමට බලය තිබෙන්නේ වැඩි මුදලට අලෙවි කරන පුද්ගලයින් හා ආයතන සඳහා පමණක් බවත් සහල් හෝ වෙනත් ආහාර ද්‍රව්‍ය සඟවන පුද්ගලයින්ට නඩු පැවරීමට හෝ එවැනි ස්ථාන පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ට බලතල ලැබී නැති බවද පෙන්වා දෙන ඇමතිවරයා මේ නිසා පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර දැනට සහල් සඟවාගෙන සිටින මහා පරිමාණ සහල් මෝල් අයිතිකරුවන්ගේ ස්ථාන පරීක්ෂාව සඳහා සහ නඩු පැවරීමට ද බලතල ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා වූ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියි.
මෙම පනත සංශෝධනය සඳහා ලබන මස තුළ පාරිභෝගික කටයුතු බාර අමාත්‍යවරයා විසින් අවශ්‍ය සංශෝධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ
මෙම උත්සව සමයේ කීරි සම්බා සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ඊට විකල්ප සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට යෝජනා වුවත්, කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 50,000 දක්වා අඩු කිරීමට යෝජනා කළ බවත් ඊට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් අමාත්‍යවරයා කීය.
එමෙන්ම 2022 වර්ෂයේ පැවැති සහල් හිඟය නිසා මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් මෙරටට ආනයනය කර ඇති නමුත් 2023 වර්ෂයේ ජනවාරි මස සිට මෙම දෙසැම්බර් මස දෙවන සතිය දක්වා මෙතෙක් සහල් ඇටයක් හෝ පිටරටින් ආනයනය නොකළ බවද අමාත්‍යවරයා පැවසීය.
මේ වසර පුරාම කිසිදු සහලක් ආනයනය නොකල බවත් ඒ අනුව සහල් ආනයනය සඳහා වැය කරන ඩොලර් මිලියන 300කට අධික මුදලක් මේ වසර තුළ රජයට ඉතිරි කර දී තිබෙන බවත් ඇමතිවරයා පෙන්වා දී ඇත.