යුද හමුදා කඳවුරකින් ටී 56 ගිනි අවි 75ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.
ඊයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මේ අපරාධය හෙළිදරව් කළ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පැවසුවේ මෙම අවි පවතින්නේ සිවිල් සමාජය තුළ බවය.
” අපි ඊයෙත් ටි 56 ගිනි අවි දෙකක් ගන්නවා. එක අවියක් ගන්නේ සේවයේ සිටින සිවිල් ආරක්ෂක බලකායේ නියාමකවරයෙක් ලඟ තිබියදියි. ඔහුත් සමගයි අත් අඩංගුවට ගන්නේ. ඉතින් මේක ඉතාම සංකීර්ණයි. සේවයේ යෙදී සිටින හමුදා සෙබලුන්, පොලිස් නිලධාරීන්. මේක ලඝු කොට සලකන්න බෑ. යම් යම් අවස්ථාවල මේවට නිලධාරීන්ගේ සහාය ලැබිලා තියනවා. අපි මේ තත්ත්වය අවම කරලා උපරිම විනිවිද භාවයකින් යුක්තව අපරාධ විමර්ශනයක් සිදුකරගෙන යනවා.” ඊයේ පොලිස්පතිවරයා පැවසුවේය.
මේ වනවිට අත් අඩංගුවට ගත් ගිනි අවි පිළිබඳ මුල පාදා ගන්නේ වැල්ලම්පිටියේ දී පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග අත් අඩංගුවට ගනු ලබනා පුද්ගලයෙකුගෙනි. පොලිසිය ඔහුව රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කරද්දී වැලිකන්ද ප්‍රදේශයේ දැනට සක්‍රීය සේවයේ සිටිනා සිවිල් ආරක්ෂ නියාමකයෙක් ටී 56 ගිනි අවි ජාවාරමක් කරන ආකාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය විය.
පසුගිය 14 වැනිදා මෙම පුද්ගලයා වැලිකන්දේ දී අත් අඩංගුවට පත් විය.
ඒ ටී 56 ගිනි අවියක් පතොරොම් ගැබක් සහ ජීව උණ්ඩ 18ක් සමගිනි. දින 90ක් රැඳවුම් නියෝග ලබාගෙන ඔහුගෙන් දීර්ඝ ප්රශ්නකිරීමක් අපරාධ විමර්ශන අංශ විසින් ආරම්භ කළේය. මෙම පුද්ගලයා යුද සමයේ මෙම ගිනි අවි අවි ගබඩාවකින් පන්නාගෙන තිබිණි. ඔහු දශකයට වැඩි කාලයක් මෙම ගිනි අවි ලඟ තබාගෙන පරිහරණය කර ඇති ආකාරය හෙළි විය.
ඔහුගෙන් ප්‍රශ්න කරගෙන යන විට ඔහු විසින් රුපියල් ලක්ෂ 2ක මුදලකට වැලිඔය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ගිනි අවියක් අලෙවි කළ ආකාරය හෙළිදරවු විය. ඒ අනුව
ඒ අනුව අද (18) එක් ටී 56 ගනි අවියක්, පතොරොම් ගැබක් සහ ජීව උණ්ඩ 11ක් අදාල පුද්ගලයා . කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ ඒකකය මගින් වැලිඔය දි අත් අඩංගුවට ගත්තේය.
මේ අතර තවත් ටී 56 ගිනි අවියක් මාතර කොටවිල ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගැනුණි. එම ගිනි අවිය සමග උණ්ඩ 60ක් ද පොලිස් අත් අඩංගුවට පත් විය.
එම ගිනි අවි මේ වනවිට පවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ය. මේ සම්බන්ධව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පොලිසිය සූදානමින් සිටී.







