දිනසේන රතුගමගේ –
වවුනියාවේ තොග එළවළු අලෙවි මධ්‍යස්ථානයේ එලවළු වෙළෙන්දන් හා සැපයුම්කරුවන් පන්සීයකට අධික පිරිසක් වවුනියාව හොරොව්පතාන ප්‍රධාන මාර්ගය මැද වාඩි වී අද (06) උදෑසන වවුනියාවේ සෞඛ්‍ය නිලධාරීන්ට එරෙහිව විරෝධතාවය පල කළහ.
වවුනියාව නගර සභාව විසින් මෙම එළවළු මධ්‍යස්ථානයේ විෂබීජහරණය සිදු කොට එළවළු තොග මිලට ගැනීමටත් අලෙවි කිරීමටත් අවස්ථාව සලසා දී ඇතත් සෞඛ්‍ය අංශ ඊට විරෝධය පල කිරීම නිසා මේ විරෝධතාවය ආරම්භ වුණි.
පොදු ජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් කාදර් මස්තාන් මන්ත්‍රීවරයාද දෙමළ ජාතික සන්ධානයේ සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයාද විරෝධතාකරුවන් හමු වී සාකච්ඡා කළත් එළවළු වෙළෙන්දන් හා සැපයුම්කරුවෝ ඔවුන්ගේ එළවළු තොග මහ පාරේ ගොඩ ගසාගෙන විරෝධතාවයේ නිරතව සිටින්නේ සෞඛ්‍ය බලධාරීන් ගන්නා තීරණ වලට එරෙහිවය.
විරෝධතාකරුවන් කියා සිටින්නේ වෙළෙන්දන් හා එළවළු සපයන්නන් නිසි ලෙස සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළද සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ට අභිමත පරිදි තීන්දු තීරණ ගැනීම නිසා වවුනියාවේ සියළු දෙනා අසරණ වන බවයි.
වවුනියාව නගරය පසුගිය කාලයේ දින 14 ක්ම වසා දැමීමද එම නිලධාරීන්ගේ එවැනි උද්දච්ඡ තීරණයක් බවට වවුනියාවේ එළවළු වෙළෙන්දෝ චෝදනා කොට සිටිති.