නතාෂා නෙත්මිණි –
ඔබගේ ආදරවන්තයා හෝ ආදරවන්තිය පෙම්වතුන්ගේ දිනය යෙදෙන හෙට (14) ලබාදෙන ආදරණීය සිහිවටනය බාර ගැනීමට පෙර තවත් වරක් කල්පනා කිරීම කොවිඩ් 19න් ආරක්ෂා වීමට ඇති විශේෂ බුද්ධිමත් පියවරක් යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුන්ගේ සංගමය සඳහන් කරයි.
කොවිඩ් වෛරසයට පැය 72ක් පුරා කිසියම් පෘෂ්ඨයක් මත නිරුපද්‍රිතව රැඳී සිටීමේ හැකියාව පවතින බැවින් ඔබ ලබා දෙන සිහිවටනය තුළ ද එම වෛරසය නවාතැන් ගෙන සිටිය හැකියැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
මේ වන විට බ්‍රිතාන්‍ය තුළ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයකින් වාර්තා වී ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කරන ලද පර්යේෂණයකදී අනාවරණය වී ඇති බැවින් මෙම වෛරසයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කිරීම ආදරවන්තයින් කොවිඩ් ආසාදිතයන් බවට පත් කිරීමට හේතුවක් විය හැකි යැයිද ඔහු පෙන්වාදේ.
මේ වන විට ලැබී ඇති තොරතුරු අනුව ලැගුම්හල්වල කාමර බොහෝමයක් පෙම්වතුන් වෙන්කරගෙන ඇති බවද එම ලැගුම්හල් කොතරම් දුරට සෞඛ්‍ය ආරක්ෂිතදැයි කවුරුත් නොදන්නා බවද හෙතෙම අවධාරණය කරයි.
ලැගුම්හල තුළ හෝ ඔබට ලබාදෙන සිහිවටනය තුළ ඔබ ආසාදිතයෙකු බවට පත්කරන කොවිඩ් වෛරසය සැඟවී සිටීමට බොහෝ දුරට ඉඩ ඇතිබැවින් සෑම විටම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අකුරටම පිළිපැදීම වැදගත් යැයිද උපුල් රෝහණ සඳහන් කරයි.
පසුගියදා පැවැත් වූ විවිධ මංගල හා වෙනත් උත්සව අවස්ථාවන්වලට සහභාගී වූ පිරිස් බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය වීමෙන් පොකුරු වශයෙන් රෝගීන් වාර්තා වීම ඉහළ ගිය බවද ඔහු පැවසීය
මේ හේතුවෙන් වැලන්ටයින් දිනය සැමරීමට පෙම්වතුන් පොකුරු වශයෙන් ඒකරාශී වුවහොත් ඉදිරි දින කීපය තුළ රටපුරා අති භයානක තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැකි යැයි ද සංගමය පෙන්වාදේ.
දැනට පැතිර පවතින කොරෝනා වෛරසය විශාල ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයේ රඳා පවතින බැවින් ඔහුගෙන් තවත් පුද්ගලයෙකු වෙත එම වෛරස ආසාදනය වන්නේ විශාල සංඛ්‍යාවක් ලෙස බැවින් පෙම්වතුන් සිප වැලඳගැනීම, තුරුළු වීම මෙම අවස්ථාවේදී නොකළ යුතුයැයි ද උපුල් රෝහණ පෙන්වාදේ.
දෑත් පිරිසිදු කර ගනිමින් මුඛ ආවරණ පැළඳ මීටරයක් දුරින් සිට මෙවර වැලන්ටයි දිනය ඔබට සැමරිය හැකිනම් කොරෝනාව පරාජය කිරීම අපහසු නොවනු ඇත.