කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –
අද සිට සවස 4.30න් පසු කොවිඩ් මර්ධන රාජකාරි වලින් බැහැරව සිටීමට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත දන්වා සිටී.
ගම්පහ ප්‍රාදේශීය සේඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා 2020/11/25 දින සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් අමතා සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල කොටසක් රාත්‍රී 10 ටත්, තවත් කොටසක් පස්වරු 6ටත් වසා දමන ලෙස කළ නියෝගය විරෝධය දක්වා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම තීරණය ගෙන තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවය කරන්නේ ක්ෂේත්‍රය තුළ ජනතාව සමග බවත්, ක්ෂේත්‍රය තුළ මතුවන ගැටලු විසඳීමට මෙවැනි අවස්ථාවක දී කාල රාමු තුළ කළ නොහැකි බවත් දන්වන මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් දන්වා තිබුණේ හදිසි අවස්ථාවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සම්බන්ධ කර ගත නොහැකි නම් වඩාත්ම උචිත වන්නේ තමන්ගේ සේවය අදාල පැය 08 සීමා කිරීම බවය.
මේ පිළිබඳව ලංකාසරට අදහස් දැක්වූ සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.යූ.සී.එස්. කුලතිලක කීවේ මෙතෙක් තමන් සිය සේවාව දිවා රෑ නොතකා ලබා දුන්නේ කිසිම වරප්‍රසාදයක් රහිතව බවය